යළි ජන සමූහයා තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ සැවොම මට සවන් දී, මෙය තේරුම් ගන්න! පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසි දෙයකට ඔහු අපවිත්‍ර කළ නො හැක. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ, ඔහු තුළින් පිටවන දෙයිනි. අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!” යි පැවසූ සේක.
උන්වහන්සේ ජනයා වෙතින් ඉවත් ව, නිවසට ඇතුළු වූ පසු, ගෝලයෝ උන්වහන්සේගෙන් එම උපමාව ගැන විමසූහ. එවිට උන්වහන්සේ, “තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසිවකට ඔහු අපවිත්‍ර කළ නො හැකි වග ඔබට පෙනෙන්නේ නැති ද? ඒවා ඇතුළු වන්නේ ඔහුගේ හදවතට නො ව, උදරයටයි; පසුව එය වැසිකිළියට බැහැර ව යතැ” යි ඔවුන්ට කී සේක. (මෙසේ කීමෙන් යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ සෑම ආහාරයක් ම පවිත්‍ර බව ය.)
තවද උන්වහන්සේ, “කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඔහු තුළින් පිටවන දෙයින් ම ය. මන්ද දුෂ්ට සිතුවිලි, ලිංගික අපචාර, සොරකම්, මිනී මැරුම්, පරදාර සේවනය, තණ්හාව, දුෂ්ටකම, වංචාව, අනුරාගය, ඊර්ෂ්‍යාව, නින්දා අපහාස, උඩඟුකම හා මෝඩකම යන දෑ පැමිණෙන්නේ ඇතුළාන්තයෙනි; මිනිසාගේ හදවතෙනි. මේ සියලු නපුරු දෑ එන්නේ ඇතුළාන්තයෙන් ය; ඒවායින් මිනිසා අපවිත්‍ර වන්නේ යැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ එතැනින් පිටත් ව, තීර් පෙදෙසට පැමිණි සේක්, නිවසකට පිවිසි සේක. කිසිවකුත් එය දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ නමුත්, සැඟවී සිටීමට උන්වහන්සේට නො හැකි විය. අපවිත්‍ර ආත්මයක් ආවේශ වූ කුඩා දියණියක සිටි ස්ත්‍රියක් උන්වහන්සේ ගැන ඇසූ කෙණෙහි පැමිණ, උන්වහන්සේගේ පාමුල වැටුණා ය. සිරෝ-පිනිසියානු ග්‍රීක ස්ත්‍රියක වූ ඈ, තම දියණියගෙන් යක්ෂාත්මය දුරු කර දෙන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටියා ය.
ඇය ඇමතූ උන්වහන්සේ, “පළමු ව දරුවෝ කා තෘප්තියට පැමිණෙත්වා. දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක.
ඈ පිළිතුරු දෙමින්, “එසේය ස්වාමිනි, එහෙත් බල්ලෝ වුවත් දරුවන්ගෙන් වැටෙන අහර කැබලි මේසය යට සිට අවුළා කති” යි උන්වහන්සේට කීවා ය.
එවිට උන්වහන්සේ, “ඔබගේ ඒ කියමන නිසා යන්න; ඔබේ දියණිය වෙතින් යක්ෂාත්මය දුරුව ගියේ යැ” යි පැවසූ සේක.
ඈ පෙරළා නිවසට පැමිණි කල, ඇගේ දියණිය සයනයේ වැතිර සිටිනු දුටුවා ය. යක්ෂාත්මය දුරු වී තිබිණි.
ඉන්පසු උන්වහන්සේ තීර් පෙදෙසින් නික්ම, සීදොන් මැදින් ගොස්, දෙකපොලිස් පෙදෙසේ ගලීල මුහුද වෙත පැමිණි සේක. ඔවුහු යේසුස්වහන්සේ වෙත, බිහිරි වූ ද කතා කිරීමට අපහසු වූ ද මිනිසකු ගෙනැවිත්, ඔහුට අත ගසන මෙන් අයැදියහ.
සමූහයා වෙතින් ඔහු වෙන් කර, ඉවතට ගත් උන්වහන්සේ ඔහුගේ කන් තුළ තම ඇඟිලි දමා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක්, ස්වර්ගය දෙස බලා දිගු සුසුමක් හෙළා, “එප්පාතා!” යි ඔහුට පැවසූ සේක. එහි අරුත “විවර වනු!” යන්න ය. එවිට ඒ මිනිසාගේ කන් ඇරුණේ ය. දිවේ ගොතය ලිහුණේ ය. ඔහු සාමාන්‍ය ලෙස කතා කරන්නට වන්නේ ය.
කිසිවකුට එය නො කියන ලෙස යේසුස්වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එහෙත් උන්වහන්සේ තහනම් කළ පමණට වඩා වැඩි උනන්දුවෙන් ඔවුහු එය පතළ කළහ. මෙයින් අතිශය විස්මයට පත් ඔවුහු, “මෙතුමා කරන හැම දෙයක් ම අපූරුයි; එතුමා බිහිරන්ට ඇසෙන්නට සලස්වා, ගොළුවන්ට කතා කරන්නට සලස්වන සේකැ” යි පැවසූහ.