අපෝස්තුලුවරු යේසුස්වහන්සේ වෙත රැස් ව, තමන් කළ දෑ හා ඉගැන් වූ දෑ යන සියල්ල උන්වහන්සේට පැවසූහ. ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ පමණක් මා සමඟ හුදකලා තැනකට ඇවිත් මදක් විවේක ගන්නැ” යි කී සේක. මන්ද සමූහයා නිතර ම යමින් එමින් සිටි හෙයින්, අහර ගැනීමටවත් අවකාශයක් ඔවුන්ට නො වී ය. එවිට ඔවුහු පමණක් පිටත් ව ඔරුවක නැගී හුදකලා තැනකට ගියහ. එහෙත් ඔවුන් පිටත් ව යනු දුටු බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සෑම නගරයක ම සිට දුව ගොස්, ඔවුන්ට කලින් එහි ළඟා වූහ. උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, ඒ විශාල ජනකාය දැක, ඔවුන්ට දයානුකම්පා කළ සේක; මන්ද ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් වැනි වූ බැවිනි. එබැවින් උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ උගන්වන්නට වන් සේක. දවස ගෙවී යමින් තිබියදී, උන්වහන්සේ වෙත පැමිණි ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්, දැනටත් හොඳට ම පමා වෙලා; එනිසා අවට පෙදෙස් හා ගම්වලට ගොස්, කෑමට යමක් මිල දී ගන්නට මේ ජනයා පිටත් කර හරින්නැ” යි කීවෝ ය. එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “එසේ නම් අප ගොස්, ඩිනාරි දෙසියයක රොටි මිලයට ගෙන, ඔවුන්ට කෑම සපයා දිය යුතු දැ?” යි ඇසූහ. එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “රොටි කීයක් ඔබ ළඟ තියෙනවා ද? ගොහින් බලන්නැ” යි පැවසූ සේක. ඔවුහු සොයා දැන, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ” යි කීහ. එවිට උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් තණ නිල්ල මත හිඳගන්නට නියම කළ සේක. ඔවුහු පනහ හා සියය බැගින් කණ්ඩායම් වශයෙන් හිඳ ගත්හ. ඉන්පසු යේසුස්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, රොටි කඩා, රැස් ව සිටි අය ඉදිරියේ ඒවා තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. උන්වහන්සේ මසුන් දෙදෙනා ද ඔවුන් සැමට බෙදා දුන් සේක. සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉන්පසු රොටි හා මාළු කැබලිවලින් ඔවුහු කූඩ දොළහක් පිරවූහ.
මාර්ක් 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මාර්ක් 6:30-43
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ