මාර්ක් 6:14-56
මාර්ක් 6:14-56 SCV
යේසුස්වහන්සේගේ නාමය ප්‍රසිද්ධ වූයෙන්, හෙරෝද් රජුට ද එය සැල විණි. ඇතැම් දෙනෙක්, “යොහන් බව්තීස්ත මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි කීහ. එහෙත් ඇතැම්හු, “ඔහු දිවැසිවර එලියා” යැයි කීහ. අන් සමහරු, “ආදියේ විසූ දිවැසිවරුන් මෙන් මොහුත් දිවැසිවරයෙකැ” යි ද කීහ. එහෙත් මේ දෑ ඇසූ හෙරෝද්, “මා හිස ගසා දැමූ යොහන් යළි නැගිටුවනු ලැබ ඇතැ” යි පැවසී ය. මන්ද යොහන් අල්ලා, සිර ගෙයි බැඳ දැමීමට මිනිසුන් යැව්වේ හෙරෝද් ය. ඔහු එසේ කළේ, තම සහෝදර පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ය. මන්ද ඔහු ඇය ආවාහ කර ගෙන සිටියේ ය. එබැවින්, “ඔබගේ සහෝදරයාගේ භාර්යාව ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් හෙරෝද්ට පවසා තිබිණි. එහෙයින් හෙරෝදියස්, යොහන් ගැන කේන්තියෙන් ඔහු මරා දැමීමට ඉටාගත්තා ය. එහෙත් ඇයට එය කළ නො හැකි වූයේ, යොහන් දැහැමි, ශුද්ධ මනුෂ්‍යයකු බව දැන, හෙරෝද් ඔහුට බය ව, ඔහු ආරක්ෂා කළ නිසා ය. යොහන්ට සවන් දීමේදී හෙරෝද් මහත් සේ ව්‍යාකූල වූ නමුත්, ප්‍රීතියෙන් ඔහුට සවන් දුන්නේ ය. හෙරෝද් තම උපන් දින, තම අධිපතීන්ට ද හමුදාපතීන්ට හා ගලීලයේ ප්‍රභූවරුන්ට ද සාදයක් පැවැත් වූ කල අවස්ථාව එළැඹිණි. හෙරෝදියස්ගේ දියණිය පැමිණ, නටා, හෙරෝද් හා සාදයට ආ ඔහුගේ අමුත්තන් පිනවූවා ය. රජු දැරිය අමතමින්, “කැමති ඕනෑ ම දෙයක් මගෙන් ඉල්ලන්න. එය මා ඔබට දෙනවා” යි කීවේ ය. තවද ඔහු දිවුරමින්, “ඔබ ඉල්ලන ඕනෑ ම දෙයක්, මගේ රාජ්‍යයෙන් භාගයක් වුවත් මා ඔබට දෙනවා” යි කීවේ ය. පිටතට පැමිණි ඈ, “මා කුමක් ඉල්ලන්න දැ?” යි තම මවගෙන් ඇසුවා ය. “යොහන් බව්තීස්තගේ හිස” යයි ඈ කීවා ය. එකෙණෙහි විගස රජු ඉදිරියට පැමිණි ඈ, “මට ඕනෑ මේ දැන් යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා ඔබ මට දීම යැ” යි ඉල්ලා සිටියා ය. රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද අමුත්තන් නිසාත්, තම දිවුරුම් නිසාත් ඇයට දුන් වචනය ප්‍රතික්ෂේප කරන්නට අකමැති විය. ඔහු එකෙණෙහි ම යොහන්ගේ හිස ගෙනෙන ලෙස අණ දී, වධකයකු පිටත් කළේ ය. ඔහු ගොස්, සිරගෙයිදී යොහන්ගේ හිස ගසා, ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත් දැරියට දුන්නේ ය. ඈ එය තම මවට දුන්නා ය. සිදු වූ දෑ ඇසූ යොහන්ගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ. අපෝස්තුලුවරු යේසුස්වහන්සේ වෙත රැස් ව, තමන් කළ දෑ හා ඉගැන් වූ දෑ යන සියල්ල උන්වහන්සේට පැවසූහ. ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ පමණක් මා සමඟ හුදකලා තැනකට ඇවිත් මදක් විවේක ගන්නැ” යි කී සේක. මන්ද සමූහයා නිතර ම යමින් එමින් සිටි හෙයින්, අහර ගැනීමටවත් අවකාශයක් ඔවුන්ට නො වී ය. එවිට ඔවුහු පමණක් පිටත් ව ඔරුවක නැගී හුදකලා තැනකට ගියහ. එහෙත් ඔවුන් පිටත් ව යනු දුටු බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සෑම නගරයක ම සිට දුව ගොස්, ඔවුන්ට කලින් එහි ළඟා වූහ. උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, ඒ විශාල ජනකාය දැක, ඔවුන්ට දයානුකම්පා කළ සේක; මන්ද ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් වැනි වූ බැවිනි. එබැවින් උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ උගන්වන්නට වන් සේක. දවස ගෙවී යමින් තිබියදී, උන්වහන්සේ වෙත පැමිණි ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්, දැනටත් හොඳට ම පමා වෙලා; එනිසා අවට පෙදෙස් හා ගම්වලට ගොස්, කෑමට යමක් මිල දී ගන්නට මේ ජනයා පිටත් කර හරින්නැ” යි කීවෝ ය. එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “එසේ නම් අප ගොස්, ඩිනාරි දෙසියයක රොටි මිලයට ගෙන, ඔවුන්ට කෑම සපයා දිය යුතු දැ?” යි ඇසූහ. එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “රොටි කීයක් ඔබ ළඟ තියෙනවා ද? ගොහින් බලන්නැ” යි පැවසූ සේක. ඔවුහු සොයා දැන, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ” යි කීහ. එවිට උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් තණ නිල්ල මත හිඳගන්නට නියම කළ සේක. ඔවුහු පනහ හා සියය බැගින් කණ්ඩායම් වශයෙන් හිඳ ගත්හ. ඉන්පසු යේසුස්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, රොටි කඩා, රැස් ව සිටි අය ඉදිරියේ ඒවා තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. උන්වහන්සේ මසුන් දෙදෙනා ද ඔවුන් සැමට බෙදා දුන් සේක. සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉන්පසු රොටි හා මාළු කැබලිවලින් ඔවුහු කූඩ දොළහක් පිරවූහ. එහි කෑමට වාඩි වී සිටි පිරිමින් පමණක් පන්දහසක් වූහ. එකෙණෙහි ම, උන්වහන්සේ තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක. ඔවුන් පිටත් ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක. අඳුර වැටුණු කල ඔරුව මුහුද මැද වූ අතර, උන්වහන්සේ තනි ව ගොඩ බිමේ වූ සේක. ගෝලයින් ඔරුව පැදීමට වෙහෙස දරන වග උන්වහන්සේ දුටු සේක; මන්ද සුළඟ හැමුවේ ඔවුන්ට එරෙහිව ය. රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන, ඔවුන් වෙත ආ සේක. උන්වහන්සේ ඔවුන් පසු කර යන්නට වූ කල, උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ඔවුහු ඒ අවතාරයකැයි සිතා කෑ ගසන්නට වන්හ. මන්ද උන්වහන්සේ දුටු ඒ සැවොම ත්‍රස්ත ව සිටියහ. එකෙණෙහි ම ඔවුන්ට කතා කළ උන්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක. උන්වහන්සේ ඔවුන් සමඟ ඔරුවට ගොඩ වූ කල සුළඟ නැවතිණි. ගෝලයෝ මහත් සේ විස්මිත වූහ. මන්ද රොටි සම්බන්ධ හාස්කම ඔවුන් වටහා ගෙන තිබුණේ නැත. ඔවුන්ගේ හදවත් දැඩි වී තිබිණි. මෙතෙර වූ ඔවුහු ගෙන්නසරෙත් පෙදෙසට පැමිණ ඔරුව වෙරළේ නැංගුරම් ලූහ. ඔවුන් ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි ජනයා යේසුස්වහන්සේ හැඳින ගත්හ. ඔවුහු මුළු පෙදෙස පුරා දුව ඇවිද, උන්වහන්සේ යම් තැනකට ගියායැයි සැල වූ හැම තැනකට, රෝගීන් සිටි යහන් පිටින් ඔවුන් රැගෙන ගියහ. යේසුස්වහන්සේ ගිය යම් ගමක්, නගරයක් හෝ පෙදෙසක් වී ද, ජනයා රෝගීන් කඩ-මණ්ඩිවල තබා, උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.

