මාර්ක් 5:38-43

මාර්ක් 5:38-43 SCV

ඔවුන් සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි විට, එහි සිටි පිරිස හඬමින් ද වැලපෙමින් ද මහත් කැලඹීමකින් යුතු ව සිටිනු යේසුස්වහන්සේ දුටු සේක. එහි ඇතුළු වූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඇයි මේ කලබැගෑනිය? ඇයි මේ විලාපය? මේ දැරිය නිදනවා විනා මිය ගොස් නැතැ” යි පැවසූ සේක. එහෙත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. ඔවුන් සැවොම පිටතට හැරිය යේසුස්වහන්සේ දැරියගේ මව හා පියා ද උන්වහන්සේ සමඟ සිටි ගෝලයින් ද කැටුව දැරිය සිටි තැනට ගිය සේක. යේසුස්වහන්සේ ඇගේ අත අල්ලා, “තලිතා කූම්!” යි කී සේක. මෙහි අරුත, “දැරිය නැගිටින්නැයි! මම ඔබට කියමි” යනුයි. එකෙණෙහි ම දැරිය නැගිට, ඇවිදින්නට වූවා ය. ඇය දොළොස් හැවිරිදි වූවා ය. එකෙණෙහි එය දුටු ඔවුහු පුදුමයෙන් පුදුමයට පත් වූහ. මේ සිදු වූ දෑ කිසිවකුටත් නො පවසන ලෙසට තදින් අණ කළ යේසුස්වහන්සේ, ඇයට කෑමට යමක් දෙන්නැයි ද කී සේක.