මාර්ක් 5:22-34

මාර්ක් 5:22-34 SCV

සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී, උදක් ම අයදිමින්, “මගේ පුංචි දියණිය මරණාසන්නයි. ඇය සුවය ලබා, ජීවත් වන පිණිස පැමිණ, ඇය පිට ඔබේ අත් තැබුව මැනව” යි ඉල්ලී ය. උන්වහන්සේ ඔහු සමඟ යන්නට පිටත් වූ සේක. මහා ජන සමූහයක් උන්වහන්සේ පසු පස තෙරපෙමින් ගමන් ගත්හ. පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය. බොහෝ වෙදුන් යටතේ නො විඳිනා දුක් විඳි මැය, තමන් සතු ව තිබූ සියල්ල වියදම් කළ නමුදු, ඇගේ රෝගී තත්වය උග්‍ර වූවා මිස, සුවය ලද්දේ නැත. යේසුස්වහන්සේ ගැන ඇසූ ඈ, පිරිස අතරින් පිටුපසින් පැමිණ, උන්වහන්සේගේ සළුවට අත ගැසුවා ය. එසේ කළේ, “උන්වහන්සේගේ වස්ත්‍රයටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය සිතූ බැවිණි. එකෙණෙහි ම ඇගේ ලේ ගැලීම නැවතිණි; විඳි වේදනාවෙන් තමා නිදහස් වූ වග ඇගේ ගතට දැනිණි. එකෙණෙහි ආනුභාවය තමන් කෙරෙන් නික්මුණු බව දැනගත් යේසුස්වහන්සේ පිරිස මැද හැරෙමින්, “මගේ වස්ත්‍රයට අත ගැසුවේ කවුරු දැ?” යි ඇසූ සේක. ගෝලයෝ පිළිතුරු දෙමින්, “සමූහයා ඔබ වටා මෙතරම් තෙරපෙනු දැක-දැකත්, ‘මට අත ගැසුවේ කවුරු ද’ කියා ඔබ අසනවා” යි කීහ. එහෙත් මෙය කළ අය දැකීමට යේසුස්වහන්සේ අවට බැලූ සේක. එවිට ඒ ස්ත්‍රිය තමාට සිදු වූ දේ දැන, ඉදිරියට පැමිණ, උන්වහන්සේ පාමුල වැටී, බයින් ගැහි-ගැහී, සම්පූර්ණ සත්‍යය ප්‍රකාශ කළා ය. එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්න, පීඩාවෙන් සුවය ලබන්නැ” යි පැවසූ සේක.