මාර්ක් 5:21-42

මාර්ක් 5:21-42 SCV

යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එතෙරට ආ කල, මහත් ජනකායක් උන්වහන්සේ වටා රොක් වූහ. උන්වහන්සේ මුහුදු වෙරළේ සිටියදී, සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී, උදක් ම අයදිමින්, “මගේ පුංචි දියණිය මරණාසන්නයි. ඇය සුවය ලබා, ජීවත් වන පිණිස පැමිණ, ඇය පිට ඔබේ අත් තැබුව මැනව” යි ඉල්ලී ය. උන්වහන්සේ ඔහු සමඟ යන්නට පිටත් වූ සේක. මහා ජන සමූහයක් උන්වහන්සේ පසු පස තෙරපෙමින් ගමන් ගත්හ. පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය. බොහෝ වෙදුන් යටතේ නො විඳිනා දුක් විඳි මැය, තමන් සතු ව තිබූ සියල්ල වියදම් කළ නමුදු, ඇගේ රෝගී තත්වය උග්‍ර වූවා මිස, සුවය ලද්දේ නැත. යේසුස්වහන්සේ ගැන ඇසූ ඈ, පිරිස අතරින් පිටුපසින් පැමිණ, උන්වහන්සේගේ සළුවට අත ගැසුවා ය. එසේ කළේ, “උන්වහන්සේගේ වස්ත්‍රයටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය සිතූ බැවිණි. එකෙණෙහි ම ඇගේ ලේ ගැලීම නැවතිණි; විඳි වේදනාවෙන් තමා නිදහස් වූ වග ඇගේ ගතට දැනිණි. එකෙණෙහි ආනුභාවය තමන් කෙරෙන් නික්මුණු බව දැනගත් යේසුස්වහන්සේ පිරිස මැද හැරෙමින්, “මගේ වස්ත්‍රයට අත ගැසුවේ කවුරු දැ?” යි ඇසූ සේක. ගෝලයෝ පිළිතුරු දෙමින්, “සමූහයා ඔබ වටා මෙතරම් තෙරපෙනු දැක-දැකත්, ‘මට අත ගැසුවේ කවුරු ද’ කියා ඔබ අසනවා” යි කීහ. එහෙත් මෙය කළ අය දැකීමට යේසුස්වහන්සේ අවට බැලූ සේක. එවිට ඒ ස්ත්‍රිය තමාට සිදු වූ දේ දැන, ඉදිරියට පැමිණ, උන්වහන්සේ පාමුල වැටී, බයින් ගැහි-ගැහී, සම්පූර්ණ සත්‍යය ප්‍රකාශ කළා ය. එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්න, පීඩාවෙන් සුවය ලබන්නැ” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ කියද්දී ම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ ඇතමෙක්, “ඔබේ දියණිය මිය ගියා; තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්නේ කුමට දැ?” යි කීහ. ඔවුන් කී දෑ ඇසුණු නමුත් යේසුස්වහන්සේ සිනගෝග පාලකයා අමතා, “බය නො වන්න, විශ්වාසයෙන් ම සිටින්නැ” යි කී සේක. පේතෘස්, යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන් හැර අන් කිසිවකුට තමන් සමඟ ඒමට උන්වහන්සේ ඉඩ නො දුන් සේක. ඔවුන් සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි විට, එහි සිටි පිරිස හඬමින් ද වැලපෙමින් ද මහත් කැලඹීමකින් යුතු ව සිටිනු යේසුස්වහන්සේ දුටු සේක. එහි ඇතුළු වූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඇයි මේ කලබැගෑනිය? ඇයි මේ විලාපය? මේ දැරිය නිදනවා විනා මිය ගොස් නැතැ” යි පැවසූ සේක. එහෙත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. ඔවුන් සැවොම පිටතට හැරිය යේසුස්වහන්සේ දැරියගේ මව හා පියා ද උන්වහන්සේ සමඟ සිටි ගෝලයින් ද කැටුව දැරිය සිටි තැනට ගිය සේක. යේසුස්වහන්සේ ඇගේ අත අල්ලා, “තලිතා කූම්!” යි කී සේක. මෙහි අරුත, “දැරිය නැගිටින්නැයි! මම ඔබට කියමි” යනුයි. එකෙණෙහි ම දැරිය නැගිට, ඇවිදින්නට වූවා ය. ඇය දොළොස් හැවිරිදි වූවා ය. එකෙණෙහි එය දුටු ඔවුහු පුදුමයෙන් පුදුමයට පත් වූහ.