මාර්ක් 4:21-34

මාර්ක් 4:21-34 SCV

උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ පහනක් ගෙනෙන්නේ, එය බඳුනකින් වසා තබන්න ද? නැත්නම් ඇඳක් යට තබන්න ද? පහන් රුක මත තැබීමට නො වේ ද? මන්ද අනාවරණ නො කරන්නට සඟවන ලද කිසිවක් නැත; එළියට නො ගෙනෙන ලෙස වසන් කරන කිසිවක් ද නැත. අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!” උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අසන දෑ ගැන විමසිලිමත් වන්න. ඔබ මනින මිම්මෙන් ම ඔබට ද මැන දෙනු ලැබේ. ඊට වැඩියෙනුත් ඔබට දෙනු ලැබේ. ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ” යි කී සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිහෙක් තම පොළොවේ බීජ ඉසියි; ඔහු නිදා සිටිය ද අවදිව සිටිය ද රැයේ හා දහවලේ ඒ බීජ පැළවී, වැඩෙයි. ඒ කෙසේදැයි ඔහු නො දනී. පොළොවෙන් ම පල හට ගන්වයි. පළමු ව දළු ද පසුව කරල් ද ඉන්පසුව කරල් පුරා බීජ ද හට ගන්වයි. අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක. උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමාන කළ හැක්කේ කුමකට ද? ඊට යෙදිය හැකි උපමාව කුමක් ද? එය අබ ඇටයකට සමාන ය. පොළොවේ වැපුරූ කල, ලොව බීජ අතර කුඩා ම බීජය එයයි. එනමුත් එය සිට වූ පසු වැඩී, එහි සෙවණේ පක්ෂීන්ට කැදලි තැනීමට තරම් විශාල අතු සහිත ව ගෙවතු පැළෑටි අතර විශාලතම පැළෑටිය වේ යැ” යි පැවසූ සේක. මේ හා සමාන උපමා බොහොමයක් මගින් ඔවුනට තේරුම් ගත හැකි පමණට උන්වහන්සේ ඔවුනට වචනය පැවසූ සේක. උපමාවකින් තොර ව උන්වහන්සේ ඔවුනට කිසිවක් ම පැවසුවේ නැත. එහෙත් ස්වකීය ගෝලයින්ට උන්වහන්සේ පෞද්ගලික ව හැම දෙයක් ම තේරුම් කළ සේක.