උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ ඉගැන්වූයේ උපමා අනුසාරයෙනි. ඔවුන්ට උගන්වමින්, උන්වහන්සේ මෙසේ කී සේක; “සවන් දෙන්න! වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත් ව ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මග දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ. සමහරක් එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින්, ඒවා ඉක්මනින් පැළවිණි. එහෙත් හිරු නැගුණ කල, ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය. තවත් බීජ, කටු පඳුරු අතරේ වැටිණි. කටු පැළ වැඩී ඒවා යට කර දැමී ය. එබැවින් ඒවා පල දැරුවේ නැත. සෙසු බීජ සරු බිමෙහි වැටිණි; ඒවා පැළවී, වැඩී, පල දරමින් තිස් ගුණයක්, හැට ගුණයක් හා සිය ගුණයක් බැගින් අස්වනු ඉපද වී ය.” එසේ කී උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි කී සේක. උන්වහන්සේ හුදකලාව සිටියදී, දොළොස් දෙනා සමඟ උන්වහන්සේ වටා සිටි අය, උපමා ගැන උන්වහන්සේගෙන් විමසූහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් පිටස්තර අයට හැම දෙයක් ම දන්වන්නේ උපමා මගිනි. මන්ද, “ ‘නිරතුරු ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිරතුරු අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද? වපුරන්නා වචනය වපුරයි. වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මග දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහි ම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී. ගල් බිමේ වැපුරුණු බීජ වන්නේ වචනය අසා, එක්වර ම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය. එහෙත් මුල් ඇද නො තිබූ බැවින්, ඔවුන් පැවත සිටින්නේ මද කලක් පමණි. වචනය නිසා හිංසා හෝ පීඩා හෝ පැමිණි කෙණෙහි ඔවුහු වැටී යති. අනෙක් අය කටු අතරේ වපුළ ඒවායි. ඔවුන් වචනය අසන අයයි; එහෙත් මේ ජීවිතයේ කම්කටොලු, ධන සම්පත්වල රැවටිල්ල හා අනිකුත් දේවලට ඇති ආශා ඇතුළු වී, වචනය පොඩිකර දමයි. එහෙයින් ඔවුන් පල දරන්නේ නැත. සරු බිමෙහි වපුරන ලද්දවුන් වන්නේ, වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයකින්, හැට ගුණයකින් හා සිය ගුණයකින් පල දරන අය යැ” යි පැවසූ සේක.
මාර්ක් 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මාර්ක් 4:2-20
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ