මාර්ක් 3:7-19
මාර්ක් 3:7-19 SCV
යේසුස්වහන්සේ එතැනින් නික්ම, තම ගෝලයින් සමඟ මුහුද වෙත පැමිණි සේක. ගලීලයෙන් අති මහත් ජනකායක් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ කළ සියලු දෑ ගැන අසා තිබූ මහත් සමූහයක් යුදයෙන්, යෙරුසලමෙන්, ඉදුමයෙන්, යොර්දාන් එගොඩින්, තීර් හා සීදොන් අවටින් යන පෙදෙස්වලින් උන්වහන්සේ වෙත ආහ. සමූහයා නිසා තෙරපීමෙන් වැළකීමට තමන්ට කුඩා ඔරුවක් සූදානම් කරන ලෙස, උන්වහන්සේ තම ගෝලයින්ට කී සේක. මන්ද උන්වහන්සේ බොහෝ දෙනකු සුව කර තිබූ හෙයින්, රෝගීවූවෝ උන්වහන්සේට අත ගසන්නට, පොදි කකා ඉදිරියට තල්ලුවී ආවෝ ය. තවද අශුද්ධාත්මයෝ උන්වහන්සේ දුටු විට උන්වහන්සේ ඉදිරියේ වැටී, “දෙවියන්වහන්සේගේ පුත්රයාණෝ ඔබ යැ” යි මොර ගැසුවෝ ය. එහෙත් තමා කවුරුන්දැයි ප්රසිද්ධ නො කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක. යේසුස්වහන්සේ කන්දකට නැගී, තමන් කැමති වූවන් තමා වෙත කැඳවූ සේක. ඔවුහු උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ දොළොස් දෙනකු තෝරාගත් සේක. එසේ කළේ, ඔවුන් උන්වහන්සේ සමඟ සිටින පිණිසත්, දේශනා කිරීමට උන්වහන්සේ ඔවුන් පිටත් කර හරින පිණිසත්, යක්ෂාත්මයන් දුරු කිරීමේ බලය ඔවුන් දරන පිණිසත් ය. එසේ තෝරාගත් දොළොස් දෙනා: (උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ) සීමොන්, (උන්වහන්සේ “ගර්ජනාවේ පුත්රයෝ” යන අරුතින් බෝවනර්ගස් යන නම දුන්) සෙබදීගේ පුත්රයෝ වන යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන්, අන්දෘ, පිලිප්, බර්තොලමෙව්, මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්ර යාකොබ්, තද්දෙවුස්, ජ්වලිතයා යයි නම් ලත් සීමොන් හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය.

