යේසුස්වහන්සේ කන්දකට නැගී, තමන් කැමති වූවන් තමා වෙත කැඳවූ සේක. ඔවුහු උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ දොළොස් දෙනකු තෝරාගත් සේක. එසේ කළේ, ඔවුන් උන්වහන්සේ සමඟ සිටින පිණිසත්, දේශනා කිරීමට උන්වහන්සේ ඔවුන් පිටත් කර හරින පිණිසත්, යක්ෂාත්මයන් දුරු කිරීමේ බලය ඔවුන් දරන පිණිසත් ය.
එසේ තෝරාගත් දොළොස් දෙනා:
(උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ) සීමොන්,
(උන්වහන්සේ “ගර්ජනාවේ පුත්‍රයෝ” යන අරුතින් බෝවනර්ගස් යන නම දුන්) සෙබදීගේ පුත්‍රයෝ වන යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන්,
අන්දෘ,
පිලිප්,
බර්තොලමෙව්,
මතෙව්,
තෝමස්,
අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්,
තද්දෙවුස්,
ජ්වලිතයා යයි නම් ලත් සීමොන්
හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය.
ඉන්පසු උන්වහන්සේ නිවසට ගිය සේක. සමූහයා යළි රැස්වූයෙන්, ඔවුන්ට අහර ගැනීමට තරම් වත් ඉඩක් නො ලැබිණි. උන්වහන්සේගේ පවුලේ අයට එය සැල වූයෙන් ඔවුහු උන්වහන්සේ අල්ලාගෙන ඒමට ගියහ. මන්ද, “ඔහුගේ සිහි විකල් වෙලා” යි ඔවුහු කීහ.
තවද යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු, “මොහුට බෙල්සෙබුල් ආවේශ වෙලා! මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ.
එහෙයින් උන්වහන්සේ තමා වෙත ඔවුන් කැඳවා, උපමාවලින් ඔවුන්ට කතා කරමින්, “සාතන්ට, සාතන් දුරු කළ හැක්කේ කෙසේ ද? රාජ්‍යයක් එයට ම එරෙහිව බෙදුනහොත් එම රාජ්‍යයට පැවතිය නො හැක. නිවසක් එයට ම එරෙහිව බෙදුනහොත් එම නිවසට පැවතිය නො හැක. සාතන් තමන්ට ම එරෙහිව නැගිට, බෙදුනහොත් ඔහුට පැවතිය නො හැකි ය. එය ඔහුගේ අවසානයයි. පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ කොල්ලකන්නට කිසිවකුටත් නුපුළුවන. බැඳ දැමූ පසු, ඔහුගේ නිවස ම කොල්ලකත හැකි වෙයි. සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය-පුත්‍රයින්ගේ සියලු පාප හා ඔවුන් පවසන දේවාපහාස ඔවුන්ට කමා කරනු ලබන්නේ ය. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කිසිවකුට කිසි කලෙක කමාවක් නැත. ඔහු සදාතන පාපයකට වරදකරු වී සිටිතැ” යි පැවසූ සේක.
උන්වහන්සේ එසේ පැවසුවේ, “මොහුට අපවිත්‍ර ආත්මයක් ඇතැ” යි ඔවුන් කී බැවිනි.
එවිට උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, පිටත සිටිමින්, උන්වහන්සේ කැඳවමින් පණිවුඩ යැවූහ. උන්වහන්සේ වටකර වාඩි වී සිටි සමූහයා, “ඔබේ මෑණියන් හා සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත සිටිති” යි උන්වහන්සේට දැන්වූහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා,
තමා වටා වාඩි වී සිටියවුන් දෙස බලා, “මෙන්න මගේ මෑණියන් හා මගේ සහෝදරයින්.