මාර්ක් 2:1-11

මාර්ක් 2:1-11 SCV

ටික දිනකින් උන්වහන්සේ යළි කපර්ණවුමට පැමිණි කල, උන්වහන්සේ ගෙදර ආ වග පතළ විය. එවිට දොරකඩින් පිටත පවා ඉඩක් නොමැති තරමට ජනකායක් එහි එක් රොක් වූහ. උන්වහන්සේ ඔවුන්ට වචනය දේශනා කළ සේක. සිවු දෙනකු විසින් උසුලාගෙන ආ අංසබාග රෝගියකු උන්වහන්සේ වෙත ගෙන එන ලදී. ජනකාය නිසා උන්වහන්සේට ළං විය නො හැකි වූයෙන්, ඔවුහු උන්වහන්සේට ඉහළින් පියස්ස ගලවා, කුහරයක් සාදා, අංසබාග රෝගියා ඔත් සයනය එතුළින් පහළට බැස්සූහ. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතා, “පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක. එහි හිඳ සිටි දහම් පඬිවරු ඇතමෙක් තමන් තුළ ම ප්‍රශ්න කර ගනිමින්, “මේ මිනිහා මෙලෙස කතා කරන්නේ ඇයි? ඔහු කරන්නේ දේවාපහාසයක්! පාප කමා කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණක් මිස අන් කවරකුට දැ?” යි සිතූහ. ඔවුන් මේ මේ ලෙස ඔවුන්ගේ හදවතින් සිතූ වග එකෙණෙහි ම යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැන, ඔවුන් අමතා, “ඔබ මෙවැනි දෑ ඔබේ හදවතින් සිතන්නේ මන්ද? මෙයින් අංසබාගය ඇත්තාට කීමට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද? නැතහොත් ‘නැගිට සයනයත් ගෙන ඇවිදින්නැ’ යි කීම ද? එනමුත් පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි කී උන්වහන්සේ අංසබාග රෝගියා අමතා, “නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන ලෙස මම ඔබට අණ කරමි” යි පැවසූ සේක.