මාර්ක් 16:14-20
මාර්ක් 16:14-20 SCV
පසුව එකොළොස් දෙනා කෑමට හාන්සි වී සිටියදී, උන්වහන්සේ ඔවුන්ට පෙනී, ඔවුන්ගේ විශ්වාසය නැතිකම හා සිත් දැඩිකම ගැන ඔවුන්ට තරවටු කළ සේක. මන්ද උන්වහන්සේ නැගිටුණු පසු, උන්වහන්සේ දුටු අය කී දේ ඔවුන් විශ්වාස කළේ නැති බැවිනි. ඉන්පසු උන්වහන්සේ ඔවුන් අමතා, “ලෝකය පුරා ගොස් සකල මැවිල්ලට ම ශුභාරංචිය ප්‍රකාශ කරන්න. අදහා ගන්නා වූ, බව්තීස්ම කරනු ලබන්නා වූ කවුරුන් වුවත් ගලවනු ලබන්නේ ය. එහෙත් අදහා ගන්නේ නැති කවුරුන් වුවත් වරදට පත් කරනු ලබන්නේ ය. අදහන්නන් සමඟ පවතින ලකුණු මෙසේ ය; මගේ නාමයෙන් ඔවුන් යක්ෂාත්මයන් දුරු කරනු ඇත; අලුත් භාෂාවලින් කතා කරනු ඇත. ඔවුන් තම අත්වලින් සර්පයින් අල්ලා ගනු ඇත; ඔවුන් මරණීය විස පානය කළත් ඔවුන්ට එයින් කිසිදු අනතුරක් වන්නේ නැත; ඔවුන් රෝගීන් පිට අත් තබනු ඇත; එවිට ඔවුන් සුවය ලබනු ඇතැ” යි පැවසූ සේක. යේසුස් ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක්, දෙවියන්වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. ඉන්පසු ගෝලයෝ පිට වී ගොස්, හැම තැන ශුභාරංචිය දේශනා කළහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ලකුණු අනුසාරයෙන් පණිවුඩය සහතික කළ සේක.




