මාර්ක් 16:1-11

මාර්ක් 16:1-11 SCV

සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ. සතියේ පළමු දින උදෙන් හිරු උදාව සමඟ සොහොන් ලෙන වෙත ගිය ඔවුහු, ඔවුනොවුන් අමතමින්, “ලෙන් දොරකඩ තිබෙන ගල අපට ඉවත පෙරළා දෙන්නේ කවුරු දැ?” යි කීහ. එහෙත් ඔවුන් ඉහළ බැලූ කල, අති විශාල එම ගල ඉවතට පෙරළා තිබෙනු දුටුවහ. ලෙන තුළට ඇතුළු වූ ඔවුහු එහි දකුණු පස සුදු ලෝගුවක් හැඳි තරුණයකු වාඩි වී සිටිනු දැක භීත වූහ. එහෙත් ඔහු කතා කොට, “බය වන්න එපා; ඔබ සොයන්නේ කුරුසියේ ඇණ ගසන ලද නාසරෙත්හි යේසුස්වහන්සේයි. උන්වහන්සේ නැගිටුණා! උන්වහන්සේ මෙහි නැත. බලන්න! ඔවුන් උන්වහන්සේ තැන්පත් කළ තැන! එහෙත් දැන් උන්වහන්සේගේ ගෝලයින් හා පේතෘස් වෙත ගොස්, ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන වගත්, උන්වහන්සේ ඔබට පැවසූ ලෙස එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇති වගත් කියන්නැ’ යි” පැවසී ය. එහෙත් ඔවුන් පිට වී, සොහොන වෙතින් පලා ගියහ. වෙවුලුම හා විස්මය ඔවුන් වෙළාගත් බැවින් ඔවුන් කිසිවකුට කිසිවක් කීවේ නැත. මන්ද ඔවුහු බයවී සිටියහ. සතියේ පළමු දවසේ වේලාසන නැගුටුණු පසු, උන්වහන්සේ පළමු කොට, මග්දලාහි මරියාට පෙනුණු සේක; ඈ උන්වහන්සේ විසින් යක්ෂාත්මයන් සත් දෙනකු දුරු කරන ලද තැනැත්තිය ය. මරියා ගොස්, කලින් උන්වහන්සේ සමඟ සිටියවුන් අඬා වැලපෙමින් සිටියදී ඒ වග කීවා ය. එහෙත්, උන්වහන්සේ ජීවත් ව සිටින බවත්, ඈ උන්වහන්සේ දුටු බවත් ඇසූ ඔවුන් එය විශ්වාස කළේ නැත.

මාර්ක් 16:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය