මාර්ක් 15

15
යේසුස්වහන්සේ පිලාත් ඉදිරිපිට
1උදය වූ විගස නායක පූජකවරු, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් හා මුළු මන්ත්‍රණ සභාව සමඟ සාකච්ඡා කොට, යේසුස්වහන්සේ බැඳ, ගෙන ගොස්, පිලාත්ට භාර දුන්හ.
2පිලාත්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය.
“ඔබ එසේ කියන්නෙහි යැ” යි යේසුස්වහන්සේ කී සේක.
3නායක පූජකවරු උන්වහන්සේට එරෙහිව බොහෝ දෑ ගැන චෝදනා කළහ. 4පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබට පිළිතුරක් නැති ද? බලන්න, මොවුන් ඔබට එරෙහිව මොන තරම් චෝදනා නගනවා දැ?” යි කීවේ ය.
5එහෙත් යේසුස්වහන්සේ පිළිතුරක් නො දී සිටි සේක. පිලාත් මවිත විය.
6ඔවුන් ඉල්ලන එක් සිරකරුවකු මංගල්‍යයේදී නිදහස් කර දෙන සිරිතක් විය. 7සිරගත කැරලිකරුවන් අතරේ, කැරැල්ලකදී මිනී මැරූ බරබ්බස් නැමැත්තෙක් ද සිටියේ ය. 8පිලාත් වෙත පැමිණි සමූහයා, සිරිත් පරිදි තමන්ට කර දෙන්නැයි ඉල්ලන්ට වන්හ.
9ඔහු ඔවුන්ට උත්තර දෙමින්, “මා ඔබට යුදෙව්වන්ගේ රජ නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය. 10මන්ද නායක පූජකයින් තමා ඉදිරියට උන්වහන්සේ ගෙනාවේ ඊර්ෂ්‍යාව නිසා වග පිලාත් දැන සිටියේ ය. 11එහෙත් ඒ වෙනුවට, තමන්ට බරබ්බස් නිදහස් කර ගැනීමට නායක පූජකවරු ජනයා පෙලඹ වූහ.
12“එසේ නම්, යුදෙව්වන්ගේ රජ යයි ඔබ කියන මේ මිනිසා ගැන මම කුමක් කරම් දැ?” යි පිලාත් නැවතත් ඔවුන්ගෙන් ඇසුවේ ය.
13“ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි ඔවුහු කෑ ගැසූහ.
14පිලාත් ඔවුන්ට කතා කරමින්, “ඇයි? මොහු මොන අපරාධයක් කළාට දැ?” යි ඇසී ය.
එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි වඩ වඩා මොර ගසන්නට වූහ.
15එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය.
හේවායින්ගෙන් නින්දා-ගැරහුම්
16හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට උන්වහන්සේ ගෙන ගොස්, මුළු සේනාංකය ම කැඳවූහ. 17ඔවුහු යේසුස්වහන්සේට දම් පැහැති ලෝගුවක් හඳවා, කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා, 18“යුදෙව් රජු දිනේවා!” යි ආචාර කරන්නට වූහ. 19ඔවුහු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට යළි යළි පහර දෙමින්, උන්වහන්සේට කෙළ ගසමින්, දණින් වැටී නමස්කාර කළහ. 20මෙසේ උන්වහන්සේට සරදම් කළ පසු, දම් පැහැති ලෝගුව ගලවා, උන්වහන්සේගේ ඇඳුම් හැඳ වූ ඔවුහු, ඉන්පසු කුරුසිපත් කරන පිණිස, උන්වහන්සේ පිටතට ගෙන ගියහ.
කුරුසියේ ඇණ ගැසීම
21ඇලෙක්සැන්ඩර්ගේ හා රූෆස්ගේ පියා වූ, ගම්බද සිට නගරයට එමින් සිටි මගියකු වූ සිරේනියානු සීමොන්ට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු බල කළහ. 22ඔවුහු හිස්කබල යන අර්ථයෙන් හැඳින් වූ ගොල්ගොතා යන ස්ථානයට උන්වහන්සේ ගෙන ආහ. 23ඔවුහු සුවඳලාටු මුසු මිදි යුෂ උන්වහන්සේට දුන් නමුත්, උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක. 24කුරුසියේ උන්වහන්සේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගනිමින්, තමාට ලැබෙන්නේ කුමක් දැයි දැනගැනීමට පස ඇට දැමූහ.
25ඔවුන් උන්වහන්සේ කුරුසිපත් කරන විට තුන් වන පැය#15:25 එනම් උදෑසන නවය විය. 26උන්වහන්සේට එරෙහි චෝදනාව වශයෙන් ලියූ පුවරුවක් විය:
“යුදෙව්වන්ගේ රජු.”
27එක් කෙනකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ සොරුන් දෙදෙනෙක් ද ඔවුහු කුරුසිපත් කළහ. 28“උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ සේක”#15:28 ඇතැම් පුරාණ අත් පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ. යන ශුද්ධ ලියවිලි පාඨය මෙසේ සම්පූර්ණ විය. 29එතැන පසු කර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “දේව මාලිගාව කඩා තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, 30කුරුසියෙන් බැස නුඹ ම ගැලවෙනු!” යි කීහ. 31නායක පූජකවරු ද දහම් පඬිවරු ද එලෙස ම ඔවුනොවුන් අතර උන්වහන්සේට සමච්චල් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමා ම ගලවා ගන්න බැහැ! 32අප එය දැක බලා, විශ්වාස කරන පිණිස, ඉශ්‍රායෙල් රජ්ජුරුවන් වන මේ ක්‍රිස්තුස් දැන් ම කුරුසියෙන් බැස ආවා වේ!” යි කීහ. උන්වහන්සේ සමඟ කුරුසිපත් කරනු ලැබූවෝ ද උන්වහන්සේට නින්දා අපහාස කළහ.
යේසුස්වහන්සේගේ මරණය
33හය වන පැය පැමිණි කල,#15:33 දහවල් දොළහ සිට පස්වරු තුන දක්වා නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. 34නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?”#15:34 ගීතා 22;1 යනුයි.
35එවිට ඒ ඇසූ ඒ අසල සිටියවුන්ගේ ඇතමෙක්, “අන්න! ඔහු එලියාට හඬ ගසනවා යැ” යි කීහ.
36ඔවුන්ගෙන් කෙනෙක් දුව ගොස් මූදු හත්තක් මිදි යුෂ-විනාකිරෙන් පොඟවා, දණ්ඩක අමුණා, උන්වහන්සේගේ මුවට ළං කරමින්, “බලන් ඉන්න. ඔහු බිමට ගන්න එලියා ඒදැයි බලමු” යි කී ය.
37මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.
38දේව මාලිගයේ තිරය, ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. 39උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන් ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසී ය.
40ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ. 41උන්වහන්සේ ගලීලයේ සිටියදී උන්වහන්සේ අනුව ගිය ඔවුන් උන්වහන්සේට උපස්ථාන කර තිබිණි. උන්වහන්සේ සමඟ යෙරුසලමට පැමිණි තවත් ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ.
යේසුස්වහන්සේගේ භූමදානය
42එය සූදානම් වීමේ දවස ය. එනම්, සබතට පෙර දවස ය. එබැවින් සවස් වූ කල, 43උසස් මන්ත්‍රණ සභිකයකු වූ අරමාතියේ යෝසෙප්, එඩිතර ව පිලාත් වෙත ගොස් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලා සිටියේ ය. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලා සිටි කෙනකු ද විය. 44උන්වහන්සේ ඒ වන විටත් මිය ගොසිනැයි ඇසූ පිලාත් මවිත වී, සියයේ හේවා භාර නිලධාරියා ගෙන්වා, ඔහු දැනටමත් මිය ගොහින් ද යන වග ඇසී ය. 45උන්වහන්සේ මිය ගිය වග සියයේ හේවා භාර නිලධාරියාගෙන් දැනගත් පිලාත්, යෝසෙප්ට දේහය අනුමත කළේ ය. 46යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය. 47මග්දලාහි මරියා හා යෝසෙස්ගේ මව වූ මරියා උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය දුටුවහ.

දැනට තෝරාගෙන ඇත:

මාර්ක් 15: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න