මාර්ක් 15:6-15

මාර්ක් 15:6-15 SCV

ඔවුන් ඉල්ලන එක් සිරකරුවකු මංගල්‍යයේදී නිදහස් කර දෙන සිරිතක් විය. සිරගත කැරලිකරුවන් අතරේ, කැරැල්ලකදී මිනී මැරූ බරබ්බස් නැමැත්තෙක් ද සිටියේ ය. පිලාත් වෙත පැමිණි සමූහයා, සිරිත් පරිදි තමන්ට කර දෙන්නැයි ඉල්ලන්ට වන්හ. ඔහු ඔවුන්ට උත්තර දෙමින්, “මා ඔබට යුදෙව්වන්ගේ රජ නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය. මන්ද නායක පූජකයින් තමා ඉදිරියට උන්වහන්සේ ගෙනාවේ ඊර්ෂ්‍යාව නිසා වග පිලාත් දැන සිටියේ ය. එහෙත් ඒ වෙනුවට, තමන්ට බරබ්බස් නිදහස් කර ගැනීමට නායක පූජකවරු ජනයා පෙලඹ වූහ. “එසේ නම්, යුදෙව්වන්ගේ රජ යයි ඔබ කියන මේ මිනිසා ගැන මම කුමක් කරම් දැ?” යි පිලාත් නැවතත් ඔවුන්ගෙන් ඇසුවේ ය. “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි ඔවුහු කෑ ගැසූහ. පිලාත් ඔවුන්ට කතා කරමින්, “ඇයි? මොහු මොන අපරාධයක් කළාට දැ?” යි ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි වඩ වඩා මොර ගසන්නට වූහ. එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය.