මාර්ක් 15:33-47

මාර්ක් 15:33-47 SCV

හය වන පැය පැමිණි කල, නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි. එවිට ඒ ඇසූ ඒ අසල සිටියවුන්ගේ ඇතමෙක්, “අන්න! ඔහු එලියාට හඬ ගසනවා යැ” යි කීහ. ඔවුන්ගෙන් කෙනෙක් දුව ගොස් මූදු හත්තක් මිදි යුෂ-විනාකිරෙන් පොඟවා, දණ්ඩක අමුණා, උන්වහන්සේගේ මුවට ළං කරමින්, “බලන් ඉන්න. ඔහු බිමට ගන්න එලියා ඒදැයි බලමු” යි කී ය. මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක. දේව මාලිගයේ තිරය, ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන් ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසී ය. ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ. උන්වහන්සේ ගලීලයේ සිටියදී උන්වහන්සේ අනුව ගිය ඔවුන් උන්වහන්සේට උපස්ථාන කර තිබිණි. උන්වහන්සේ සමඟ යෙරුසලමට පැමිණි තවත් ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. එය සූදානම් වීමේ දවස ය. එනම්, සබතට පෙර දවස ය. එබැවින් සවස් වූ කල, උසස් මන්ත්‍රණ සභිකයකු වූ අරමාතියේ යෝසෙප්, එඩිතර ව පිලාත් වෙත ගොස් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලා සිටියේ ය. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලා සිටි කෙනකු ද විය. උන්වහන්සේ ඒ වන විටත් මිය ගොසිනැයි ඇසූ පිලාත් මවිත වී, සියයේ හේවා භාර නිලධාරියා ගෙන්වා, ඔහු දැනටමත් මිය ගොහින් ද යන වග ඇසී ය. උන්වහන්සේ මිය ගිය වග සියයේ හේවා භාර නිලධාරියාගෙන් දැනගත් පිලාත්, යෝසෙප්ට දේහය අනුමත කළේ ය. යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය. මග්දලාහි මරියා හා යෝසෙස්ගේ මව වූ මරියා උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය දුටුවහ.

මෙයට අදාළ වීඩියෝ

මාර්ක් 15:33-47 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය