මාර්ක් 15:21-41

මාර්ක් 15:21-41 SCV

ඇලෙක්සැන්ඩර්ගේ හා රූෆස්ගේ පියා වූ, ගම්බද සිට නගරයට එමින් සිටි මගියකු වූ සිරේනියානු සීමොන්ට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු බල කළහ. ඔවුහු හිස්කබල යන අර්ථයෙන් හැඳින් වූ ගොල්ගොතා යන ස්ථානයට උන්වහන්සේ ගෙන ආහ. ඔවුහු සුවඳලාටු මුසු මිදි යුෂ උන්වහන්සේට දුන් නමුත්, උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක. කුරුසියේ උන්වහන්සේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගනිමින්, තමාට ලැබෙන්නේ කුමක් දැයි දැනගැනීමට පස ඇට දැමූහ. ඔවුන් උන්වහන්සේ කුරුසිපත් කරන විට තුන් වන පැය විය. උන්වහන්සේට එරෙහි චෝදනාව වශයෙන් ලියූ පුවරුවක් විය: “යුදෙව්වන්ගේ රජු.” එක් කෙනකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ සොරුන් දෙදෙනෙක් ද ඔවුහු කුරුසිපත් කළහ. “උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ සේක” යන ශුද්ධ ලියවිලි පාඨය මෙසේ සම්පූර්ණ විය. එතැන පසු කර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “දේව මාලිගාව කඩා තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, කුරුසියෙන් බැස නුඹ ම ගැලවෙනු!” යි කීහ. නායක පූජකවරු ද දහම් පඬිවරු ද එලෙස ම ඔවුනොවුන් අතර උන්වහන්සේට සමච්චල් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමා ම ගලවා ගන්න බැහැ! අප එය දැක බලා, විශ්වාස කරන පිණිස, ඉශ්‍රායෙල් රජ්ජුරුවන් වන මේ ක්‍රිස්තුස් දැන් ම කුරුසියෙන් බැස ආවා වේ!” යි කීහ. උන්වහන්සේ සමඟ කුරුසිපත් කරනු ලැබූවෝ ද උන්වහන්සේට නින්දා අපහාස කළහ. හය වන පැය පැමිණි කල, නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි. එවිට ඒ ඇසූ ඒ අසල සිටියවුන්ගේ ඇතමෙක්, “අන්න! ඔහු එලියාට හඬ ගසනවා යැ” යි කීහ. ඔවුන්ගෙන් කෙනෙක් දුව ගොස් මූදු හත්තක් මිදි යුෂ-විනාකිරෙන් පොඟවා, දණ්ඩක අමුණා, උන්වහන්සේගේ මුවට ළං කරමින්, “බලන් ඉන්න. ඔහු බිමට ගන්න එලියා ඒදැයි බලමු” යි කී ය. මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක. දේව මාලිගයේ තිරය, ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන් ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසී ය. ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ. උන්වහන්සේ ගලීලයේ සිටියදී උන්වහන්සේ අනුව ගිය ඔවුන් උන්වහන්සේට උපස්ථාන කර තිබිණි. උන්වහන්සේ සමඟ යෙරුසලමට පැමිණි තවත් ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ.