මාර්ක් 15:1-23

මාර්ක් 15:1-23 SCV

උදය වූ විගස නායක පූජකවරු, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් හා මුළු මන්ත්‍රණ සභාව සමඟ සාකච්ඡා කොට, යේසුස්වහන්සේ බැඳ, ගෙන ගොස්, පිලාත්ට භාර දුන්හ. පිලාත්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය. “ඔබ එසේ කියන්නෙහි යැ” යි යේසුස්වහන්සේ කී සේක. නායක පූජකවරු උන්වහන්සේට එරෙහිව බොහෝ දෑ ගැන චෝදනා කළහ. පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබට පිළිතුරක් නැති ද? බලන්න, මොවුන් ඔබට එරෙහිව මොන තරම් චෝදනා නගනවා දැ?” යි කීවේ ය. එහෙත් යේසුස්වහන්සේ පිළිතුරක් නො දී සිටි සේක. පිලාත් මවිත විය. ඔවුන් ඉල්ලන එක් සිරකරුවකු මංගල්‍යයේදී නිදහස් කර දෙන සිරිතක් විය. සිරගත කැරලිකරුවන් අතරේ, කැරැල්ලකදී මිනී මැරූ බරබ්බස් නැමැත්තෙක් ද සිටියේ ය. පිලාත් වෙත පැමිණි සමූහයා, සිරිත් පරිදි තමන්ට කර දෙන්නැයි ඉල්ලන්ට වන්හ. ඔහු ඔවුන්ට උත්තර දෙමින්, “මා ඔබට යුදෙව්වන්ගේ රජ නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය. මන්ද නායක පූජකයින් තමා ඉදිරියට උන්වහන්සේ ගෙනාවේ ඊර්ෂ්‍යාව නිසා වග පිලාත් දැන සිටියේ ය. එහෙත් ඒ වෙනුවට, තමන්ට බරබ්බස් නිදහස් කර ගැනීමට නායක පූජකවරු ජනයා පෙලඹ වූහ. “එසේ නම්, යුදෙව්වන්ගේ රජ යයි ඔබ කියන මේ මිනිසා ගැන මම කුමක් කරම් දැ?” යි පිලාත් නැවතත් ඔවුන්ගෙන් ඇසුවේ ය. “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි ඔවුහු කෑ ගැසූහ. පිලාත් ඔවුන්ට කතා කරමින්, “ඇයි? මොහු මොන අපරාධයක් කළාට දැ?” යි ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි වඩ වඩා මොර ගසන්නට වූහ. එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය. හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට උන්වහන්සේ ගෙන ගොස්, මුළු සේනාංකය ම කැඳවූහ. ඔවුහු යේසුස්වහන්සේට දම් පැහැති ලෝගුවක් හඳවා, කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා, “යුදෙව් රජු දිනේවා!” යි ආචාර කරන්නට වූහ. ඔවුහු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට යළි යළි පහර දෙමින්, උන්වහන්සේට කෙළ ගසමින්, දණින් වැටී නමස්කාර කළහ. මෙසේ උන්වහන්සේට සරදම් කළ පසු, දම් පැහැති ලෝගුව ගලවා, උන්වහන්සේගේ ඇඳුම් හැඳ වූ ඔවුහු, ඉන්පසු කුරුසිපත් කරන පිණිස, උන්වහන්සේ පිටතට ගෙන ගියහ. ඇලෙක්සැන්ඩර්ගේ හා රූෆස්ගේ පියා වූ, ගම්බද සිට නගරයට එමින් සිටි මගියකු වූ සිරේනියානු සීමොන්ට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු බල කළහ. ඔවුහු හිස්කබල යන අර්ථයෙන් හැඳින් වූ ගොල්ගොතා යන ස්ථානයට උන්වහන්සේ ගෙන ආහ. ඔවුහු සුවඳලාටු මුසු මිදි යුෂ උන්වහන්සේට දුන් නමුත්, උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක.

මෙයට අදාළ වීඩියෝ

මාර්ක් 15:1-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය