මාර්ක් 14:51-72

මාර්ක් 14:51-72 SCV

හණ රෙද්දකින් පමණක් සිරුර වසා ගත් තරුණයෙක් උන්වහන්සේ පසු පස ගියේ ය. ඔවුන් ඔහු අල්ලා ගත් කල, ඔහු රෙද්ද හැර නිරුවතින් පලා ගියේ ය. ඔවුහු උත්තම පූජකයා වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. සියලු නායක පූජකවරු, වැඩිහිටියෝ හා දහම් පඬිවරු එහි රැස් වූහ. පේතෘස් මදක් දුරින් පැමිණ, උන්වහන්සේ පසුපසින් උත්තම පූජක මැදුරේ මිදුලට ඇතුළු වී, මුර සේවකයන් සමඟ හිඳ, ගිනි තපිමින් සිටියේ ය. නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණු වන පිණිස, උන්වහන්සේට විරුද්ධ සාක්ෂි සෙවූ නමුත්, කිසිවක් සම්භ වූයේ නැත. එහෙත් බොහෝ දෙනා උන්වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි දුන් නමුත් ඔවුන්ගේ සාක්ෂි ද නො ගැළපිණි. එවිට ඇතමෙක් නැගිට, උන්වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි දෙමින්, “ ‘අත්වලින් තැනූ මේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් මම අතින් නො තැනූ තවෙකක් ගොඩ නගමි’ කියා මොහු කියනවා අපට ඇසුණා” යි කීහ. එහෙත් ඔවුන්ගේ මේ සාක්ෂිය ද ගැළපුණේ නැත. එවිට ඔවුන් ඉදිරියේ නැගිට, උත්තම පූජකයා, යේසුස්වහන්සේ අමතා, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය. එහෙත් උන්වහන්සේ පිළිතුරු නො දී නිහඬ ව සිටි සේක. එවිට උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුස්වහන්සේ ද? ආශිර්වාද ලද්දාණන්වහන්සේගේ පුත්‍රයා දැ?” යි ඇසී ය. “මම වෙමි” යි පැවසූ යේසුස්වහන්සේ, “තවද මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද ඔබ දකිනු ඇතැ” යි කී සේක. එවිට උත්තම පූජකයා තම ඇඳිවත් ඉරා ගනිමින්, “තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? ඔබට ඇසුණා නො වේ ද මේ දේවාපහාසය! ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. ඔහු සුදුසු මරණයට යැයි සියල්ලෝ තීන්දු කළෝ ය. එවිට ඇතමෙක් උන්වහන්සේට කෙළ ගසන්නටත්, උන්වහන්සේගේ ඇස් බැඳ, අත්මිටින් පහර දෙමින්, “දිවැසින් කියනු” යි කීහ. මුර සෙබළු පහර දෙමින් උන්වහන්සේ භාර ගත්හ. පේතෘස් මැදුරේ පහළ මිදුලේ සිටියදී, උත්තම පූජකයාගේ සේවිකාවක් පැමිණ, පේතෘස් ගිනි තපිමින් සිටිනු දැක, ඔහු දෙස ඕනෑකමින් බලා, “ඒ නාසරීය යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය. එහෙත් එය ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ඔබ කියන්නේ මොනවාදැයි මා දන්නේ නෑ. මට තේරෙන්නෙත් නෑ” යි පවසා, මැදුරේ දොරටුව වෙත ගියේ ය. එවිට කුකුළා හැඬලී ය. සේවිකාව ඔහු දැක, “මේ මිනිහා ඔවුන්ගෙන් කෙනෙකැ” යි ළඟ සිටියවුනට නැවතත් කීවා ය. එහෙත් ඔහු නැවතත් එය ප්‍රතික්ෂේප කළේ ය. මද වේලාවකට පසු, ළඟ සිටි අය පේතෘස් අමතමින්, “නුඹ ඔවුන්ගේ ම කෙනෙක් තමයි; මන්ද නුඹ ගලීලයෙකැ” යි කීහ. ඔහු තමාට ම ශාප කර ගනිමින්, ඔවුන්ට දිවුරමින්, “ඔබ කියන මේ මිනිසා මා හඳුනන්නේ නෑ” යි කීවේ ය. එකෙණෙහි ම කුකුළා දෙවන වරට හැඬලී ය. එකල, “කුකුළා දෙවරක් හඬලන්නට පෙර, තුන් වරක් ම ඔබ මා හඳුනන්නේ නැතැ” යි යේසුස්වහන්සේ තමාට කී හැටි සිහි කළ පේතෘස්, දැඩි සංවේගයෙන් හැඬී ය.