මාර්ක් 14:18-31

මාර්ක් 14:18-31 SCV

ඔවුන් මේසයට හිඳ, ආහාර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබගෙන් කෙනෙක්, මා සමඟ ආහාර ගන්නා ඔබගෙන් කෙනෙක්, මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක. ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ, දොළොස් දෙනාගෙන් කෙනෙකි; මා සමඟ තලියේ අත ලූ තැනැත්තා ය. උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක. ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ඊට ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න; මේ මගේ ශරීරය යැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය. උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මගේ ගිවිසුමේ ලෙය මෙයයි. සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී අලුතින් පානය කරන තෙක්, නැවතත් මා මිදි වැලේ පලයෙන් පානය කරන්නේ නැතැ” යි පැවසූ සේක. ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ. යේසුස්වහන්සේ කතා කරමින්, “ඔබ හැම අතහැර යනු ඇත. මන්ද: “ ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබති’ යි ලියා තිබේ. එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක. පේතෘස් කතා කරමින්, “හැම දෙනා ඔබ මග හැර ගියත්, මා යන්නේ නැතැ” යි කී ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, අද, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක් ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක. එහෙත්, “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස් තරයේ ම ප්‍රකාශ කළේ ය. සැවොම එසේ කීහ.