මාර්ක් 14:12-26

මාර්ක් 14:12-26 SCV

පාස්කු බැටළුවා පූජා කළ නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ උන්වහන්සේට කතා කළ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ. උන්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කරමින්, “නගරයට ගොස්, එහිදී වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසු පස යන්න. ඔහු ඇතුළු වන නිවසේ ගෙහිමියාට කතා කොට, ‘මගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි මගේ ආගන්තුක ශාලාව කොතැනදැයි ගුරුතුමා අසනවා’ යි කියන්න. අවශ්‍ය බඩු බාහිරාදියෙන් යුතු, සූදානම් කරන ලද විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වාවි. එතැන අපට පිළියෙල කරන්නැ” යි කී සේක. ගෝලයෝ පිටත් ව, නගරයට පිවිස, උන්වහන්සේ කී පරිදි සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය. සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ පැමිණි සේක. ඔවුන් මේසයට හිඳ, ආහාර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබගෙන් කෙනෙක්, මා සමඟ ආහාර ගන්නා ඔබගෙන් කෙනෙක්, මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක. ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ, දොළොස් දෙනාගෙන් කෙනෙකි; මා සමඟ තලියේ අත ලූ තැනැත්තා ය. උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක. ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ඊට ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න; මේ මගේ ශරීරය යැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය. උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මගේ ගිවිසුමේ ලෙය මෙයයි. සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී අලුතින් පානය කරන තෙක්, නැවතත් මා මිදි වැලේ පලයෙන් පානය කරන්නේ නැතැ” යි පැවසූ සේක. ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.

මාර්ක් 14:12-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය