එවිට දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නායක පූජකවරුන් වෙත ගියේ, උන්වහන්සේ ඔවුන් අතට පාවා දෙන පිණිස ය. ඒ ඇසීමෙන් සතුටට පත් වූ ඔවුහු, ඔහුට මුදල් දීමට පොරොන්දු වූහ. එහෙයින්, ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.
පාස්කු බැටළුවා පූජා කළ නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ උන්වහන්සේට කතා කළ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.
උන්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කරමින්, “නගරයට ගොස්, එහිදී වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසු පස යන්න. ඔහු ඇතුළු වන නිවසේ ගෙහිමියාට කතා කොට, ‘මගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි මගේ ආගන්තුක ශාලාව කොතැනදැයි ගුරුතුමා අසනවා’ යි කියන්න. අවශ්‍ය බඩු බාහිරාදියෙන් යුතු, සූදානම් කරන ලද විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වාවි. එතැන අපට පිළියෙල කරන්නැ” යි කී සේක.
ගෝලයෝ පිටත් ව, නගරයට පිවිස, උන්වහන්සේ කී පරිදි සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය.
සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ පැමිණි සේක. ඔවුන් මේසයට හිඳ, ආහාර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබගෙන් කෙනෙක්, මා සමඟ ආහාර ගන්නා ඔබගෙන් කෙනෙක්, මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.
ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ, දොළොස් දෙනාගෙන් කෙනෙකි; මා සමඟ තලියේ අත ලූ තැනැත්තා ය. උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.
ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ඊට ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න; මේ මගේ ශරීරය යැ” යි පැවසූ සේක.
ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය.
උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මගේ ගිවිසුමේ ලෙය මෙයයි. සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී අලුතින් පානය කරන තෙක්, නැවතත් මා මිදි වැලේ පලයෙන් පානය කරන්නේ නැතැ” යි පැවසූ සේක.
ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.
යේසුස්වහන්සේ කතා කරමින්, “ඔබ හැම අතහැර යනු ඇත. මන්ද:
“ ‘මම එඬේරාට පහර දෙන්නෙමි.
එවිට බැටළුවෝ විසුරුවනු ලබති’ යි ලියා තිබේ.
එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.
පේතෘස් කතා කරමින්, “හැම දෙනා ඔබ මග හැර ගියත්, මා යන්නේ නැතැ” යි කී ය.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, අද, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක් ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක.
එහෙත්, “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස් තරයේ ම ප්‍රකාශ කළේ ය. සැවොම එසේ කීහ.
ඔවුහු ගෙත්සෙමන නම් ස්ථානයට ගියහ. ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මා යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. පේතෘස්, යාකොබ් හා යොහන් තමන් සමඟ ගෙන ගිය උන්වහන්සේ, මහත් සේ ශෝක වන්නටත්, කැලඹීමටත් පත් වන්නට වී, ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මෙහි නැවතී අවදියෙන් ඉන්නැ” යි කී සේක.
එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, හැකි නම් ඒ පැය තමන් වෙතින් ඉවත් කරන මෙන් යාච්ඤා කරමින්, “අබ්බා පියාණෙනි, ඔබට හැම දෙයක් ම පුළුවන. මේ කුසලාන මගෙන් ඉවත් කළ මැනව; එහෙත්, මගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත වේවා” යි පැවසූ සේක.
උන්වහන්සේ ආපසු ගෝලයින් වෙත පැමිණ, ඔවුන් නිදා සිටිනු දැක, පේතෘස් අමතමින්, “සීමොන් ඔබ නිදි ද? ඔබට එක පැයක් අවදියෙන් ඉන්න බැරි වුණා ද? පරීක්ෂාවට නො වැටෙන පිණිස අවදිව සිටිමින්, යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
නැවතත් ඉවතට ගිය උන්වහන්සේ එම වචන ම කියමින් යාච්ඤා කළ සේක. උන්වහන්සේ ආපසු පැමිණි කල, ඔවුන් නැවතත් නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බර ව තිබිණි. උන්වහන්සේට කුමක් කියන්නදැයි ඔවුහු නො දත්හ.
උන්වහන්සේ තුන් වන වරටත් ඔවුන් වෙත පැමිණ, ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? දැන් ඇති; පැය පැමිණිලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි. නැගිටින්න; අපි යමු. මෙන්න මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.
එකෙණෙහි උන්වහන්සේ කතා කරද්දී ම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ආවේ ය; ඔහු සමඟ කඩු මුගුරු රැගත් පිරිසක් වූහ. ඔවුහු නායක පූජකයින්, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් විසින් එවනු ලැබූවෝ වූහ.
“මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි. ඔහු අල්ලා රැකවල් ලා, ගෙන යන්නැ” යි පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණ. මෙසේ ඔහු පැමිණ උන්වහන්සේ වෙත ගොස්, “රබ්බී” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය. ඔවුහු උන්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ.