මාර්ක් 14:1-9
මාර්ක් 14:1-9 SCV
පාස්කුවට හා නුමුහුන් රොටි උළෙලට තිබුණේ දවස් දෙකක් පමණි. නායක පූජකවරු හා දහම් පඬිවරු කූට උපායකින් උන්වහන්සේ අල්ලා, මරා දමන්නේ කෙසේදැයි සෙවූහ. ඔවුහු උනුන් අමතමින්, “නමුත් උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ. යේසුස්වහන්සේ, කුෂ්ඨ රෝගියා වූ බෙතානියේ සීමොන්ගේ නිවසේ මේසයට වාඩි වී සිටියදී, ස්ත්‍රියක් පවිත්‍ර නාඩ්වලින් සෑදූ ඉතා මිල අධික සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙනැවිත්, එය කඩා, උන්වහන්සේගේ හිසේ වත් කළා ය. එහි සිටි ඇතමෙක් කෝප වී, ඔවුනොවුන් අතර කතා වෙමින්, “මේ සුවඳ විලවුන් මෙහෙම නාස්ති කරන්නේ ඇයි? මේ සුවඳ විලවුන් විකුණා, ඩිනාරි තුන්සියයකට වැඩි මිලක් ගෙන, දිළිඳුන්ට බෙදා දෙන්න තිබුණා” යි ඇයට දොස් කීහ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඇයට ඉන්නට හරින්න; මැයට ඔබ කරදර කරන්නේ ඇයි? ඈ මට කර ඇත්තේ, මනහර දෙයක්; දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටීවි. ඔබට ඕන වෙලාවක ඔවුන්ට උදවු කරන්නට ඔබට පුළුවන. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නෑ. ඈ කළේ ඇයට කළ හැකි දේයි. භූමදානයට පෙර ඈ මගේ සිරුර සුවඳ ගල්වා, ආලේප කළා. සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින් ඇය කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක.


