මාර්ක් 13:14-37

මාර්ක් 13:14-37 SCV

“තවද බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල, නො සිටිය යුතු තැන සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා) යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා! කෙතෙහි සිටින්නා තම කබාය ගන්නට ආපසු නො ඒවා! ගැබිනියනටත්, කිරි දෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. ශීත කාලයේ මෙය නො වන ලෙස යාච්ඤා කරන්න. මන්ද ඒ දවස්හි දෙවියන්වහන්සේ මැවූ මැවීම පටන් ගැන්මේ සිට, මේ දක්වා සිදු නො වූ, මින් මතු කවර කලෙක සිදු නො වන විපත්-පීඩාවක් වනු ඇත. “ස්වාමින්වහන්සේ ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් නියම කර, තෝරාගනු ලැබූවන් උදෙසා ඒ කාලය කෙටි කළ සේක. ඒ කාලයේ යමකු කතා කොට, ‘මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න. මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත. එබැවින් පරෙස්සම් වන්න; මේ සියල්ල කල්තියා මම ඔබට කීවෙමි. “එහෙත් ඒ දවස්වල ඒ විපත්තියෙන් පසු, “ ‘හිරු අඳුරු වනු ඇත, සඳු ද තම එළිය නො දෙනු ඇත; තරු අහසින් කඩා වැටෙනු ඇත. අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’ “එකල මනුෂ්‍ය පුත්‍රයාණන් මහත් බලයෙන් හා තේජසින් යුක්ත ව වලාකුළු තුළ එනු මනුෂ්‍යයින් දකිනු ඇත. තවද උන්වහන්සේ තමන් තෝරා ගත්තවුන් සතර දිගින් ම රැස් කරන පිණිස, පොළෝ සීමාන්තයේ සිට අහස් සීමාන්ත දක්වා ස්වකීය දූතයින් යවන සේක. “අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න. එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති. එලෙස ම මේ දේවල් සිදු වනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟ ම බව දැනගන්න. සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි. අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මගේ වචන පහව යන්නේ නැත. “ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත. පියාණන්වහන්සේ පමණක් මිස, ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත. ඒ වෙලාව කොයි වේලේ ඒදෝයි ඔබ නො දන්න බැවින් පරෙස්සම් වන්න! විපරමින් සිටින්න. එය, තම මෙහෙකරුවන් එකිනෙකාට නියමිත වැඩ පවරා, අවදිව සිටින ලෙස දොරටුව මුර කරන්නාට අණ දී, සිය නිවසින් පිට වී චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය. “එහෙයින් අවදියෙන් සිටින්න. මන්ද ගෙදර ස්වාමියා නැවත පැමිණෙන්නේ සවස ද මැදියම් රෑ ද කුකුළා හඬලන වේලාවේ ද හිමිදිරියේදැයි ඔබ නො දනී. ඔහු හදිසියේ ම පැමිණ, ඔබ නිදා සිටිනු දකින්නට නො ලැබේවා. මම ඔබට කියන දේ ම අන් සියල්ලන්ට ද කියමි: ‘අවදියෙන් සිටින්නැ’ යි” පැවසූ සේක.