මාර්ක් 12

12
බදුකරුවෝ හා වතු හිමියා ගැන උපමාව
1උන්වහන්සේ ඔවුන්ට උපමා මගින් කතා කරන්නට පටන් ගෙන, “මිනිසෙක් මිදි වත්තක් වවා, එය වටකර තාප්පයක් බැඳ, මිදි මඬින මෝලක් සඳහා වළක් හාරා, මුර ටැඹක් ද තැනී ය. ඉන්පසු ඔහු ගොවීන්ට වත්ත බදු දී, පිට රටකට ගියේ ය. 2පල නෙළන කාලය උදා වූ කල, ඔහු මිදි වත්තෙන් තම කොටස ලබන පිණිස බදුකරුවන් වෙත තම සේවකයකු යැවී ය. 3එහෙත්, ඔවුහු එම දාසයා අල්ලා, තළා-පෙළා, හිස් අතින් ම ආපසු යැවූහ. 4එකල ඔහු වෙනත් දාසයකු ඔවුන් වෙත යැවී ය. ඔවුහු ඔහුගේ හිසට පහර දී, ඔහුට නින්දා සහගත ව සැලකූහ. 5ඔහු තවත් කෙනකු යැවී ය. ඔවුහු ඔහු මරා දැමූහ. ඔහු තවත් කීප දෙනකු යැවී ය. ඔවුහු මොවුන්ගෙන් ඇතමකුට පහර දුන් අතර, ඇතමකු මරා දැමූහ.
6“යැවීමට ඉතිරි ව සිටියේ ඔහුගේ එක ම ප්‍රේමණීය පුත්‍රයා පමණි. අන්තිමේ ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැව්වේ, ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි පවසමිනි.
7“එහෙත් ඒ බදුකරුවෝ තමන් අතරේ කතා කරමින්, ‘මෙන්න උරුමක්කාරයා. එන්න; මොහු මරා දමමු! එවිට උරුමය අපට යැ’ යි කීහ. 8මෙසේ ඔවුහු ඔහුගේ පුත්‍රයා අල්ලා, මරා, මිදි වත්තෙන් පිටතට ඇද දැමූහ.
9“මිදි වතු හිමියා ඊට කුමක් කරයි ද? ඔහු ඇවිත් බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇත. 10මේ ශුද්ධ ලියවිලි පාඨය ඔබ කියවා නැද්ද?
“ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල,
ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත.
11මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි;
අපේ ඇස් හමුවේ එය ආශ්චර්ය ය.’#12:11 ගීතා 118:22,23
12එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් ඔවුහු, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ජනයාට බියෙන් ඔවුහු උන්වහන්සේ හැර ඉවත ගියහ.
සීසර්ට ගෙවන බද්ද
13පසුව කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට, ඔවුහු පරිසිවරුන්ගෙන් හා හෙරෝදිවරුන්ගෙන් ඇතමකු උන්වහන්සේ වෙත යැවූහ. 14ඔවුහු පැමිණ උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟ ව උගන්වන කෙනෙක්. සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්ද? 15අප බදු ගෙවිය යුතු ද? නැද්දැ?” යි ඇසූහ.
එහෙත් ඔවුන්ගේ කුහකකම දත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ මා පරීක්ෂා කරන්නේ මන්ද? ඩිනාරියක කාසියක් මා වෙත ගෙනැවිත්, මට එය බලන්න දෙන්නැ” යි කී සේක. 16ඔවුන් එය ගෙනා කල, උන්වහන්සේ ඔවුන් අමතමින්, “මෙහි තිබෙන රූපය කාගේ ද? මෙහි ඇති සටහන කාගේ දැ?” යි ඇසූ සේක.
“සීසර්ගේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
17එවිට යේසුස්වහන්සේ, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි කී සේක.
ඔවුහු උන්වහන්සේ ගැන මවිත වූහ.
මරණින් නැගිටීම ගැන පැණයක්
18මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ, ප්‍රශ්න කරමින්, 19“ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, යමකුගේ සහෝදරයකු තම භාර්යාව ජීවත් ව සිටියදී දරු පල නො ලැබ මළොත්, ඒ මිනිසා එම වැන්දඹුව ආවාහ කර ගෙන තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු වගයි. 20අප අතර සහෝදරයින් හත් දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහයක් කර ගෙන දරු පල නො ලැබ මිය ගියා, 21පසුව දෙවැන්නා ඒ වැන්දඹුව විවාහ කර ගත් නමුදු, ඔහු ද දරු පල නො ලැබ මිය ගියා. තුන්වැන්නාට සිදු වූයේ ද එයමයි. 22මේ හත්දෙනා ම දරු පල නො ලැබ ම මිය ගියා. අන්තිමේ ඒ ස්ත්‍රිය ද මිය ගියා. 23ඇය මේ හත්දෙනාගේ ම භාර්යාව වූ බැවින් මරණින් නැවත නැගිටීමේදී ඈ මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ.
24යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් ඔබ නො දන්නා නිසයි. 25මළවුන් නැවත නැගිටින කල, ඔවුන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඔවුන් ස්වර්ගයේ දේව දූතයින් මෙන් වනු ඇත. 26මළවුන් නැවත නැගිටීම ගැන කියනවා නම්, මෝසෙස්ගේ පොතේ, දැවෙන පඳුර පිළිබඳ කොටසෙහි දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ යැ’#12:26 නික්ම 3;6 යි පැවසූ වග ඔබ කියවා නැද්ද? 27උන්වහන්සේ මළවුන්ගේ දෙවියන්වහන්සේ නො ව, ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේ ය. ඔබට බොහෝ සේ වැරදී ඇතැ!” යි පැවසූ සේක.
උතුම් අණ
28පැමිණ සිටි දහම් පඬිවරුන්ගෙන් කෙනෙක්, ඔවුන් එකිනෙකාගේ වාද කිරීම අසා, උන්වහන්සේ ඔවුන්ට නිසි පිළිතුර දුන් වග දැක, උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “සියලු ආඥාවලින් වඩාත් උතුම් එක කොයික දැ?” යි ඇසී ය.
29යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “වඩාත් උතුම් ආඥාව මෙයයි: ‘එම්බා ඉශ්‍රායෙල්, මේ අසනු: අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ එක ම ස්වාමින්වහන්සේ ය. 30ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න.’#12:30 ද්වි 6:4,5 31දෙවැන්න මෙයයි: ‘ඔබ ඔබට ම ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’#12:31 ලෙවී 19;18 යන්නයි. මේවාට වඩා උතුම් ආඥාවක් තවත් නැතැ” යි පැවසූ සේක.
32එවිට දහම් පඬිවරයා, “ඔබ කීවා හරි ගුරුතුමනි; උන්වහන්සේ එක ම තැනැන්වහන්සේ ය; උන්වහන්සේ හැර අන් කෙනෙක් නැතැයි ඔබ කීවා සැබෑ ය. 33මුළු හෘදයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු ශක්තියෙන් ද උන්වහන්සේට ප්‍රේම කිරීම හා කෙනකු තමාට ම ප්‍රේම කරන්නා සේ, ඔහුගේ අසල්වැසියාටත් ප්‍රේම කිරීම, සියලු දවන පූජා හා වෙනත් යාගවලට වඩා උතුම් යැ” යි කීවේ ය.
34ඔහු ප්‍රඥාවත් ව උත්තර දුන් බව දුටු යේසුස්වහන්සේ, “ඔබ සිටින්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඈතින් නො වේ” යි පැවසූ සේක. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වී ය.
ක්‍රිස්තුස්වහන්සේ කාගේ පුතුන් ද?
35යේසුස්වහන්සේ දේව මාලිගයේ උගන්වමින්, “ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යැයි දහම් පඬිවරු කියන්නේ කෙසේ ද? 36දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්,
“ ‘මා විසින් ඔබේ සතුරන්
ඔබේ පයට යටත් කරන තෙක්,
මා දකුණු පසින් අසුන් ගන්නැ’#12:36 ගීතා 110;1 යි
ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි
ප්‍රකාශ කර ඇත.
37“දාවිත් ම උන්වහන්සේට ‘ස්වාමින්වහන්සේ ය’ කියයි නම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක.
රැස් ව සිටි විශාල පිරිස උන්වහන්සේට ප්‍රීතියෙන් සවන් දුන්හ.
දහම් පඬිවරුන් ගැන අනතුරු ඇඟවීම
38උන්වහන්සේ උගන්වමින්, “දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්, 39සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හි දී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය. 40ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.
වැන්දඹුවගේ පඬුර
41ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයේ පඬුරු පෙට්ටියට ඉදිරියෙන් වාඩි වී, ජනයා පඬුරු පෙට්ටියට පඬුරු දමන අයුරු බලා සිටි සේක. ධනවතුන් බොහෝ දෙනෙක් මුදල් වැඩි ගණනක් ඊට දැමූහ. 42එහෙත් දිළිඳු වැන්දඹුවක් පැමිණ, සතයක් වටිනා තඹ කාසි දෙකක් දැමුවා ය.
43එවිට තම ගෝලයින් කැඳවූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, පඬුරු පෙට්ටියට මුදල් දැමූ අන් සියල්ලන්ට ම වඩා මේ දිළිඳු වැන්දඹුව දැමූ බවයි. 44අන් සැවොම දැමුවේ තමන්ට වැඩිමනත් ධනයෙනි. එහෙත් මෑ තමන්ට අග හිඟ ව තිබියදීත්, ජීවත්වීමට තිබූ සියල්ල දැමුවා යැ” යි පැවසූ සේක.

දැනට තෝරාගෙන ඇත:

මාර්ක් 12: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න