මාර්ක් 12:1-27

මාර්ක් 12:1-27 SCV

උන්වහන්සේ ඔවුන්ට උපමා මගින් කතා කරන්නට පටන් ගෙන, “මිනිසෙක් මිදි වත්තක් වවා, එය වටකර තාප්පයක් බැඳ, මිදි මඬින මෝලක් සඳහා වළක් හාරා, මුර ටැඹක් ද තැනී ය. ඉන්පසු ඔහු ගොවීන්ට වත්ත බදු දී, පිට රටකට ගියේ ය. පල නෙළන කාලය උදා වූ කල, ඔහු මිදි වත්තෙන් තම කොටස ලබන පිණිස බදුකරුවන් වෙත තම සේවකයකු යැවී ය. එහෙත්, ඔවුහු එම දාසයා අල්ලා, තළා-පෙළා, හිස් අතින් ම ආපසු යැවූහ. එකල ඔහු වෙනත් දාසයකු ඔවුන් වෙත යැවී ය. ඔවුහු ඔහුගේ හිසට පහර දී, ඔහුට නින්දා සහගත ව සැලකූහ. ඔහු තවත් කෙනකු යැවී ය. ඔවුහු ඔහු මරා දැමූහ. ඔහු තවත් කීප දෙනකු යැවී ය. ඔවුහු මොවුන්ගෙන් ඇතමකුට පහර දුන් අතර, ඇතමකු මරා දැමූහ. “යැවීමට ඉතිරි ව සිටියේ ඔහුගේ එක ම ප්‍රේමණීය පුත්‍රයා පමණි. අන්තිමේ ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැව්වේ, ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි පවසමිනි. “එහෙත් ඒ බදුකරුවෝ තමන් අතරේ කතා කරමින්, ‘මෙන්න උරුමක්කාරයා. එන්න; මොහු මරා දමමු! එවිට උරුමය අපට යැ’ යි කීහ. මෙසේ ඔවුහු ඔහුගේ පුත්‍රයා අල්ලා, මරා, මිදි වත්තෙන් පිටතට ඇද දැමූහ. “මිදි වතු හිමියා ඊට කුමක් කරයි ද? ඔහු ඇවිත් බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇත. මේ ශුද්ධ ලියවිලි පාඨය ඔබ කියවා නැද්ද? “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත. මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි; අපේ ඇස් හමුවේ එය ආශ්චර්ය ය.’” එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් ඔවුහු, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ජනයාට බියෙන් ඔවුහු උන්වහන්සේ හැර ඉවත ගියහ. පසුව කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට, ඔවුහු පරිසිවරුන්ගෙන් හා හෙරෝදිවරුන්ගෙන් ඇතමකු උන්වහන්සේ වෙත යැවූහ. ඔවුහු පැමිණ උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟ ව උගන්වන කෙනෙක්. සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්ද? අප බදු ගෙවිය යුතු ද? නැද්දැ?” යි ඇසූහ. එහෙත් ඔවුන්ගේ කුහකකම දත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ මා පරීක්ෂා කරන්නේ මන්ද? ඩිනාරියක කාසියක් මා වෙත ගෙනැවිත්, මට එය බලන්න දෙන්නැ” යි කී සේක. ඔවුන් එය ගෙනා කල, උන්වහන්සේ ඔවුන් අමතමින්, “මෙහි තිබෙන රූපය කාගේ ද? මෙහි ඇති සටහන කාගේ දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට යේසුස්වහන්සේ, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි කී සේක. ඔවුහු උන්වහන්සේ ගැන මවිත වූහ. මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ, ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, යමකුගේ සහෝදරයකු තම භාර්යාව ජීවත් ව සිටියදී දරු පල නො ලැබ මළොත්, ඒ මිනිසා එම වැන්දඹුව ආවාහ කර ගෙන තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු වගයි. අප අතර සහෝදරයින් හත් දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහයක් කර ගෙන දරු පල නො ලැබ මිය ගියා, පසුව දෙවැන්නා ඒ වැන්දඹුව විවාහ කර ගත් නමුදු, ඔහු ද දරු පල නො ලැබ මිය ගියා. තුන්වැන්නාට සිදු වූයේ ද එයමයි. මේ හත්දෙනා ම දරු පල නො ලැබ ම මිය ගියා. අන්තිමේ ඒ ස්ත්‍රිය ද මිය ගියා. ඇය මේ හත්දෙනාගේ ම භාර්යාව වූ බැවින් මරණින් නැවත නැගිටීමේදී ඈ මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් ඔබ නො දන්නා නිසයි. මළවුන් නැවත නැගිටින කල, ඔවුන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඔවුන් ස්වර්ගයේ දේව දූතයින් මෙන් වනු ඇත. මළවුන් නැවත නැගිටීම ගැන කියනවා නම්, මෝසෙස්ගේ පොතේ, දැවෙන පඳුර පිළිබඳ කොටසෙහි දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ යැ’ යි පැවසූ වග ඔබ කියවා නැද්ද? උන්වහන්සේ මළවුන්ගේ දෙවියන්වහන්සේ නො ව, ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේ ය. ඔබට බොහෝ සේ වැරදී ඇතැ!” යි පැවසූ සේක.