මාර්ක් 1:14-39

මාර්ක් 1:14-39 SCV

යොහන් සිර ගෙයි දමනු ලැබූ පසු, යේසුස්වහන්සේ ගලීලයට පැමිණ, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරමින්, “කාලය සම්පූර්ණ වී ඇත; දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං ව තිබේ. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්නැ!” යි පැවසූ සේක. යේසුස්වහන්සේ ගලීල මුහුදු වෙරළේ ඇවිද යන අතරේ, සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ මුහුදේ දැලක් හෙළනු දුටු සේක; මන්ද ඔවුහු ධීවරයෝ ය. යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක. එකෙණෙහි ඔවුහු තම දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියහ. මද දුරක් ගිය කල සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් දැල් අලුත්වැඩියා කරමින්, ඔවුන්ගේ ඔරුවේ හිඳිනු දුටු උන්වහන්සේ, එකෙණෙහි ම ඔවුන් කැඳවූ සේක; එවිට ඔවුහු තම පියා වූ සෙබදී හා කුලීකරුවන් ඔරුවේ සිටින්නට හැර, උන්වහන්සේ අනුව ගියහ. ඔවුහු කපර්ණවුම් වෙත ගියහ. එකෙණෙහි සබතේදී උන්වහන්සේ සිනගෝගයට ඇතුල් ව ඉගැන් වූ සේක. උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔවුහු විස්මිත වූහ. මන්ද දහම් ගුරුන් මෙන් නො ව, උන්වහන්සේ ආධිපත්‍යය ඇත්තකු මෙන් ඉගැන් වූ බැවිනි. ඔවුන්ගේ සිනගෝගයේ සිටි අශුද්ධ ආත්මයක් ආවේශ වූ මිනිසෙක් එකෙණෙහි උස් හඬින් කෑ ගසා, “අප සමඟ ඔබට ඇති කාරිය මොකක් ද නාසරෙත්හි යේසුස්වහන්ස? ඔබ ආවේ අප විනාශ කර දමන්න ද? ඔබ කවුරුදැයි මම දනිමි. ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැන්වහන්සේ යැ!” යි කීවේ ය. එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්, “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. එවිට මිනිසා වේගයෙන් වෙවුල වූ දුෂ්ටාත්මය, මර හඬ නගමින් ඔහුගෙන් පිටතට ආවේ ය. විස්මිත වූ සියලු ජනයා ඔවුනොවුන් අතර ප්‍රශ්න කරමින්, “මොකක් ද මේ? ආධිපත්‍යයෙන් යුතු අලුත් ඉගැන්වීමක්! මෙතුමා යක්ෂාත්මයන්ට පවා අණ දෙනවා; ඔවුන් ද එතුමන්ට කීකරු වෙනවා” යි කීවෝ ය. එකෙණෙහි උන්වහන්සේගේ කීර්තිය මුළු ගලීල පළාත පුරා පැතිර ගියේ ය. සිනගෝගයෙන් පිටත් වූ විගස, ඔවුහු යාකොබ් හා යොහන් සමඟ සීමොන්ගේ හා අන්දෘගේ නිවසට ගියහ. සීමොන්ගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳට වී සිටියා ය. එකෙණෙහි ඔවුහු ඈ ගැන උන්වහන්සේට කීහ. එවිට උන්වහන්සේ ඇය ළඟට අවුත්, ඇගේ අතින් අල්ලා නැගිට වූ සේක; උණ බැස ගියේ ය. ඈ උන්වහන්සේට සත්කාර කරන්නට වූවා ය. එදින සවස හිරු අවරට යන කල, ඔවුහු සියලු රෝගීන් ද යක්ෂාවේශවූවන් ද උන්වහන්සේ වෙත ගෙන ආහ. මුළු නගරය ම දොර ළඟ එක් රොක් වූහ. නොයෙකුත් ආබාධවලින් පෙළුණු රෝගීන් බොහෝ දෙනකු සුව කළ උන්වහන්සේ බොහෝ දුෂ්ටාත්ම ද පලවා හැරිය සේක. එහෙත් දුෂ්ටාත්මයන්ට කතා කිරීමට උන්වහන්සේ ඉඩ දුන්නේ නැත; මන්ද උන්වහන්සේ කවුරුදැයි මොවුන් දැන සිටි හෙයිනි. අලුයම් උදයේ තවමත් අඳුර තිබියදී අවදි වූ උන්වහන්සේ පිටත් ව, හුදකලා තැනකට ගිය සේක්, එහිදී යාච්ඤා කළ සේක. සීමොන් හා ඔහු සමඟ සිටි අය උන්වහන්සේ සොයා ගියහ. ඔවුන්ට උන්වහන්සේ මුණ ගැසුණු කල, “හැමෝම ඔබ සොයනවා!” යි කීහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “අපි අවට ගම්වලට යමු. එහිදීත් මට දේශනා කළ හැකියි. මන්ද මා පිටත් ව පැමිණියේ ඒ සඳහා යැ” යි පැවසූ සේක. මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල දේශනා කරමින් හා යක්ෂාත්මයින් දුරු කරමින් ගලීල දේශය පුරා සැරි සැරූ සේක.