මීකා 4:1-7

මීකා 4:1-7 SCV

අවසන් දවස්හි දී, ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද, කඳු අතරේ උසස් ම කන්ද වශයෙන් පිහිටුවනු ලබන්නේ ය. කඳු ගැටවලට ඉහළින් එය ඔසවනු ලැබේ; ජනයෝ ඒ වෙත ගලා එන්නෝ ය. බොහෝ ජාතීන් අවුත්, “එමු, අපි ස්වාමින්වහන්සේගේ කන්දට නැග යමු, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයට යමු. ස්වකීය මාවත්වල අප පියමං කරන පිණිස, උන්වහන්සේ තම මාර්ග අපට උගන්වනු ඇතැ” යි කියනු ඇත. මන්ද ව්‍යවස්ථාව, සියොන වෙතින් ද ස්වාමින්වහන්සේගේ වචනය යෙරුසලම වෙතින් ද පිටත් ව එන්නේ ය. උන්වහන්සේ බොහෝ ජනයින් අතරේ විනිශ්චය ඉටු කොට, ඈත එපිට බලවත් ජාතීන් අතරේ ආරවුල් සමථය කරන සේක. ඔවුන් තම කඩුපත්වලින්, නඟුල් තල ද තම හෙල්ලවලින්, කප්පාදු කැති ද තලාගනු ඇත. ජාතියකට එරෙහිව ජාතියක් අසිපත් දරන්නේවත්, තවත් ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැත. ඔවුන් හැම කෙනෙක් ම තම තමාගේ මිදි වැල සහ තම අත්තික්කා ගස යට වසනු ඇත. කිසිවකු ඔවුන් බය ගන්වන්නේ නැත. මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේගේ මුවින් එසේ පවසා ඇත. හැම ජාතියක් ම තමන් අදහන දෙවියන් අනුව යති; එහෙත් අපි: සදහට ම අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය අනුව යන්නෙමු. ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ඒ දවසේ මම කොරුන් එක් රැස් කරන්නෙමි. රටින් නෙරපනු ලැබූවන් ද මවිසින් පීඩාවට පමුණුවනු ලැබූවන් ද මම එක් රැස් කරන්නෙමි. ඉතිරි ස්වල්ප දෙනකු බවට මම කොරවූවන් පත් කරන්නෙමි; නෙරපනු ලැබූවන් බලවත් ජාතියක් කරන්නෙමි. ඒ දවසේ පටන් සදහට ම ස්වාමින්වහන්සේ සියොන් කන්දේ සිට ඔවුන්ට රජකම් කරන සේක.

මීකා 4 කියවන්න