මීකා 1:1-9

මීකා 1:1-9 SCV

යෝතාම්, ආහාස් හා හෙසකියා යන යූදා රජවරුන්ගේ දවස්හි ස්වාමින්වහන්සේගේ වචනය මෝරෙෂෙත්හි මීකා වෙත පැමිණියේ ය. ඔහු දුටුවේ සමාරිය හා යෙරුසලම සම්බන්ධයෙනි. එම්බා ජනයිනි, මේ අහන්න; සෑම සියල්ලෙනි, එම්බා පොළොව, එතුළ ඇති සියල්ලෙනි, අවධානය යොමන්න. ස්වාමින්වහන්සේ, ස්වකීය ශුද්ධ මාලිගයේ සිට, පරමාධිපති ස්වාමින්වහන්සේ නුඹලාට එරෙහිව සාක්ෂි දැරුවා වේ. මෙන්න! ස්වාමින්වහන්සේ ස්වකීය වාසස්ථානයෙන් පිටත් ව එන සේක; උන්වහන්සේ බැස අවුත්, පොළොවේ උස් තැන් පිට සක්මන් කරන සේක. උන්වහන්සේගේ පා යටින් කඳු දියවී යන්නේ මිටියාවත් පැළී විවර වන්නේ, ගිනි අබියස ඉටි මෙනි. පල්ලමක පහළට කඩා හැලෙන ජලය මෙනි. මේ සියල්ල යාකොබ්ගේ අපරාධ නිසා ය. ඉශ්‍රායෙල් වංශයේ පාප නිසා ය. යාකොබ්ගේ අපරාධය කිමෙක් ද? සමාරිය නො වේ ද? තවද යූදාගේ උස් තැන කුමක් ද? එය යෙරුසලම නො වේ ද? එබැවින් මම සමාරිය කැබලි ගොඩක්, මිදි වතු වවන තැනක්, කරන්නෙමි. මම ඇගේ ගල්, මිටියාවතට හෙළා, ඇගේ අත්තිවාරම් නිරුවත් කරන්නෙමි. ඇගේ සියලු නෙළූ පිළිම, කැබලිවලට කඩා දැමේ; ඇගේ සියලු දේවාල සම්පත් ගින්නෙහි දවනු ලැබේ. ඇගේ රූප-පිළිම සියල්ල මම විනාශ කරන්නෙමි. මන්ද තම සියලු සම්පත් ඇය එක් රැස් කර ගත්තේ, ගණිකා වෘත්තියෙන් ඉපයූ වේතනයෙන් බැවින් යළි ඒවා යොදවනු ලබන්නේ ද ගණිකා වෘත්තියට වේතන වශයෙන් ම ය. මේ නිසා මම හඬන්නෙමි; විලාප දෙන්නෙමි; මම නිර්වස්ත්‍ර ව, නිරාවරණ දෙපයින් ඇවිදින්නෙමි. මම හිවලකු සේ බෙරිහන් දෙන්නෙමි; උකුසු බකමූණකු සේ වැලපෙන්නෙමි. මන්ද සමාරියේ තුවාලය, සුව කළ නො හැකි ය. යූදා පෙදෙස දක්වාත් එය ඇවිදින් ය. මගේ ජනයාගේ දොරටුව දක්වා ම, යෙරුසලම දක්වා එය ඇවිදින් ය.

මීකා 1 කියවන්න