යේසුස්වහන්සේ එතැන් සිට ගමන් ගනිද්දී, මතෙව් නම් වූ මිනිසෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.
යේසුස්වහන්සේ මතෙව්ගේ නිවසේ මේසයට වාඩි වූ කල, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද පැමිණ, යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් සමඟ එකට වාඩිවූහ. ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ.
උන්වහන්සේ ඒ ඇසූ කල, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. ‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’ යන්නෙහි අරුත කුමක් දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක.
එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “අපත්, පරිසිවරුනුත් උපවාසයෙන් සිටින නමුත්, ඔබගේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි ඇසූහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මංගල පිරිසට, ඔවුන් සමඟ මනාලයා සිටියදී ශෝක විය හැකි ද? මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගනු ලබන දවස් පැමිණෙයි. එවිට ඔවුන් නිරාහාර ව සිටිනු ඇත.
“කිසිවකු පරණ ඇඳුමකට තාන් රෙදි කඩකින් අණ්ඩ දමන්නේ නැත. දැමුවොත් අණ්ඩය දැමූ රෙදි කඩින් පරණ ඇඳුම ඇදී, ඉරුම වඩාත් විශාල වෙයි. කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ ද නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී, සම් මලු ද නාස්ති වී යයි; එනිසා, අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල ය. එවිට ඒ දෙවර්ගය ම සුරැකෙතැ” යි පැවසූ සේක.
උන්වහන්සේ එසේ පවසද්දී, එතැනට පැමිණි පාලකයෙක් උන්වහන්සේ අබියස දණින් වැටී, “මගේ දුව මේ දැන් මියැදුණා. එහෙත් ඔබතුමා අවුත්, ඇය පිට ඔබේ අත තැබුවොත්, ඇය ජීවත් වනු ඇතැ” යි කීවේ ය. එවිට යේසුස්වහන්සේ නැගිට, තම ගෝලයින් ද සමඟ ඔහු අනුව ගිය සේක.
ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය. මන්ද, “උන්වහන්සේගේ සළුවටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය තමාට ම කියාගත් බැවිනි.
යේසුස්වහන්සේ හැරී, ඇය දැක, “දිරිමත් වන්න දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇතැ” යි කී සේක. ඒ මොහොතේ පටන් ඒ ස්ත්රිය සුවය ලද්දා ය.
යේසුස්වහන්සේ සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි කල, නළා වාදකයින් හා ඝෝෂාකාරී පිරිස දැක, ඔවුන් අමතා, “ඉවත් වන්න, දැරිය මැරී නැහැ; ඇය නිදන්නී යැ” යි කී සේක. එවිට ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. පිරිස පිටතට යවනු ලැබූ පසු, උන්වහන්සේ නිවස තුළට ගොස්, දැරියගේ අතින් ඇල්ලූ සේක. එවිට ඈ නැගිට්ටා ය. මෙපුවත පෙදෙස මුළුල්ලේ ම පැතිරිණි.