මතෙව් 9:2-17

මතෙව් 9:2-17 SCV

එකල සයනයක හොවන ලද අංසබාග රෝගියකු කිහිප දෙනෙක් විසින් උන්වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතමින්, “ධෛර්යවත් වන්න; පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක. එවිට මෙන්න! දහම් පඬිවරු ඇතමෙක් තමන් අතරේ ම කතා කරමින්, “මේ මිනිසා දේවාපහාස කරතැ” යි කීහ. යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, “ඔබේ හදවත් මෙවැනි නපුරු දෑ සිතන්නේ මන්ද? කියන්නට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද නැතහොත්, ‘නැගිට ඇවිදින්නැ’ යි කීම ද? කෙසේ වුවත්, පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, ඉන්පසු අංසබාග රෝගියාට, “නැගිටින්න; ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ” යි පැවසූ සේක. එවිට ඔහු නැගිට, ගෙදර ගියේ ය. ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. යේසුස්වහන්සේ එතැන් සිට ගමන් ගනිද්දී, මතෙව් නම් වූ මිනිසෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය. යේසුස්වහන්සේ මතෙව්ගේ නිවසේ මේසයට වාඩි වූ කල, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද පැමිණ, යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් සමඟ එකට වාඩිවූහ. ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ. උන්වහන්සේ ඒ ඇසූ කල, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. ‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’ යන්නෙහි අරුත කුමක් දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක. එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “අපත්, පරිසිවරුනුත් උපවාසයෙන් සිටින නමුත්, ඔබගේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මංගල පිරිසට, ඔවුන් සමඟ මනාලයා සිටියදී ශෝක විය හැකි ද? මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගනු ලබන දවස් පැමිණෙයි. එවිට ඔවුන් නිරාහාර ව සිටිනු ඇත. “කිසිවකු පරණ ඇඳුමකට තාන් රෙදි කඩකින් අණ්ඩ දමන්නේ නැත. දැමුවොත් අණ්ඩය දැමූ රෙදි කඩින් පරණ ඇඳුම ඇදී, ඉරුම වඩාත් විශාල වෙයි. කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ ද නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී, සම් මලු ද නාස්ති වී යයි; එනිසා, අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල ය. එවිට ඒ දෙවර්ගය ම සුරැකෙතැ” යි පැවසූ සේක.

මතෙව් 9:2-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය