මතෙව් 8:5-13

මතෙව් 8:5-13 SCV

යේසුස්වහන්සේ කපර්ණවුමට පිවිසි කල, රෝම හමුදාවේ සියයේ සේනාංකයක් භාර සෙන්පතියෙක් ඉදිරියට අවුත්, උන්වහන්සේට ආයාචනා කරමින්, “ස්වාමිනි, මගේ මෙහෙකරුවා අංසබාගය සෑදී, දැඩි වේදනාවෙන් නිවසේ වැතිර සිටී” යි කීවේ ය. “මා ඇවිත් ඔහු සුව කරන්නම්” යි උන්වහන්සේ ඔහුට පැවසූහ. එහෙත් සියයේ සෙන්පතියා පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබතුමා මගේ වහල යටට පැමිණීමට තරම් මා සුදුස්සෙක් නො වේ. වචනයක් පමණක් පැවසුව මැනවි; එවිට මගේ මෙහෙකරුවා සුව වන්නේ ය. මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනකුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය. ඒ ඇසූ කල, විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස අමතා, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හි කිසිවකු වෙතින්වත් මා දැක නැති බවයි. මා ඔබට කියන්නේ, නැගෙනහිරින් හා බස්නාහිරින් පැමිණෙන බොහෝ දෙනකු ස්වර්ග රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සමඟ අසුන් ගන්නා අතර, රාජ්‍යයේ පුත්‍රයින් පිටත අන්ධකාරයට හෙළනු ලබන බවයි. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇතැ” යි පැවසූ සේක. පසුව යේසුස්වහන්සේ, “යන්න! සිදු වෙතැයි ඔබ විශ්වාස කළ පරිදි වෙතැ” යි සියයේ සෙන්පතියාට කී සේක. ඒ මොහොතේ ම ඔහුගේ මෙහෙකරුවාට සුවය ලැබිණ.

මෙයට අදාළ වීඩියෝ

මතෙව් 8:5-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය