මතෙව් 7:7-29

මතෙව් 7:7-29 SCV

“ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ. “ඔබ අතරින් කවරකු තම පුත්‍රයා රොටියක් ඉල්ලූ කල, ඔහුට ගලක් දෙයි ද? නැතහොත්, ඔහු මාළුවකු ඉල්ලූ කල, ඔහුට සර්පයකු දෙයි ද? මෙසේ නපුරු වූ ඔබ, ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊට වඩා කොපමණ හොඳ ත්‍යාග දෙන සේක් ද! අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද, ඔබත් එලෙස ම ඔවුනට කරන්න. මන්ද ව්‍යවස්ථාවත්, දිවැසිවරුනුත් එයයි. “පටු දොරටුවෙන් ඇතුළු වන්න. මන්ද විනාශය වෙත දිවෙන මාවත පළල් ය; එහි දොරටුව විසල් ය. එතුළින් ඇතුළු වන්නෝ බොහෝ ය. මන්ද ජීවනයට දොරටුව කුඩා ය; මාවත පටු ය; එය සොයාගන්නේ ස්වල්ප දෙනෙක් ය. “බොරු දිවැසිවරුන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් ඔබ වෙත එන්නේ බැටළු වෙසිනි. එහෙත් ඇතුළතින් ඔවුන් රුදුරු වෘකයින් ය. ඔබ ඔවුන් හැඳින ගනු ඇත්තේ ඔවුන්ගේ පලවලිනි. කටු පඳුරුවලින් මිදිවත්, කටුගස්වලින් අත්තික්කාවත් නෙළා ගත හැකි ද? එසේ ම හැම හොඳ ගසක ම, හොඳ පල හට ගැනේ; හැම නරක ගසක ම නරක පල හට ගැනේ. හොඳ ගසකට නරක පල දැරිය නො හැක. නරක ගසකට හොඳ පල දැරිය නො හැක. හොඳ පල නො දරන හැම ගසක් ම කපා හෙළා, ගින්නට ඇද දමනු ලැබේ. මෙසේ ඔවුන්ගේ පලවලින් ඔබ ඔවුන් හැඳින ගනු ඇත. “ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි,’ යි කියන හැම කෙනෙක් ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නේ නැත. ඒ දවසේදී බොහෝ දෙනෙක් මා අමතමින්, ‘ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අපි දිවැසි වැකි නො කීවෙමු ද? ඔබගේ නාමයෙන් අපි යක්ෂාත්මයන් දුරු නො කළෙමු ද? ඔබගේ නාමයෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නො කළෙමු දැ?’ යි කියනු ඇත. එවිට මම ඔවුන්ට ප්‍රකාශ කරන්නේ, ‘කිසි කල මා ඔබ දැන සිටියේ නැත. නොපනත්කම් කරන්නෙනි, මා වෙතින් ඉවත් වනු’ කියා ය. “එබැවින් මගේ මේ වචන අසා, ඒවා ක්‍රියාවට නගන හැම කෙනෙක් ම, පර්වතය පිට තම ගෙය තැනූ නැණවතකුට සමාන ය. වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය; එහෙත් පර්වතය පිට එහි අත්තිවාරම් ලා තිබූ බැවින් එය බිඳ වැටුණේ නැත. එහෙත් මගේ මේ වචන අසා ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම, වැල්ල මත තම ගෙය තැනූ මෝඩ මිනිසකුට සමාන ය. වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය. එය බිඳ වැටුණේ මහා වැටීමකිනි.” යේසුස්වහන්සේ මෙම කියමන් කියා නිම වූ කල, සමූහයා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ. මන්ද උන්වහන්සේ ඉගැන්වූයේ, ඔවුන්ගේ දහම් ගුරුන් මෙන් නො ව, ආධිපත්‍යය ඇත්තකු ලෙසිනි.

මතෙව් 7:7-29 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය