මතෙව් 7:1-12

මතෙව් 7:1-12 SCV

“විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු ලබන්නේ නැත. මන්ද ඔබ විනිශ්චය කරනු ලබන්නේ, ඔබ කරන විනිශ්චයෙන් ම ය. ඔබටත් මැන දෙනු ලබන්නේ, ඔබ මනින මිම්මෙන් ම ය. “ඔබේ ම ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි? ඔබේ ම ඇසේ ලී පතුරක් තිබියදී තම සහෝදරයාට, ‘ඔබේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කරන්න ඉඩ දෙන්නැ’ යි කියන්නේ කෙසේ ද? වංචාකාරය, පළමු ව, ඔබේ ඇසේ ලී පතුර ඉවත් කර ගන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කිරීමට පැහැදිලි ව ම ඔබට පෙනෙනු ඇත. “ශුද්ධ දේ බල්ලන්ට නො දෙන්න; ඔබගේ මුතු, ඌරන් ඉදිරියට නො දමන්න. එසේ කළහොත්, උන් ඒවා පයින් පාගා, හැරී, කෑලිවලට ඔබ ඉරා දමනු ඇත. “ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ. “ඔබ අතරින් කවරකු තම පුත්‍රයා රොටියක් ඉල්ලූ කල, ඔහුට ගලක් දෙයි ද? නැතහොත්, ඔහු මාළුවකු ඉල්ලූ කල, ඔහුට සර්පයකු දෙයි ද? මෙසේ නපුරු වූ ඔබ, ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊට වඩා කොපමණ හොඳ ත්‍යාග දෙන සේක් ද! අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද, ඔබත් එලෙස ම ඔවුනට කරන්න. මන්ද ව්‍යවස්ථාවත්, දිවැසිවරුනුත් එයයි.

මතෙව් 7:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය