මතෙව් 6:25-32
මතෙව් 6:25-32 SCV
“එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද, බොන්නේ මොනවා ද කියා ඔබේ ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ඔබේ ශරීරය ගැනවත්, කනස්සලු නො වන ලෙසයි. කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද වටිනවා නො වේ ද? අහසේ පක්ෂීන් දෙස බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත්, අටු-කොටු පුරවන්නේවත් නැත. එහෙත් ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නො වේ ද? කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද? “ඇඳුම් ගැන ඔබ කනස්සලු වන්නේ මන්ද? කෙතේ මානෙල් වැඩෙන හැටි බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත. එහෙත් මා ඔබට කියන්නේ, සාලමොන් පවා ඔහුගේ මුළු රාජශ්‍රීයෙන් පැලඳ සිටියදීත් මේ මලක් සේ සැරසී සිටියේ නැති බවයි. අද තිබී, හෙට ගින්නෙහි ලන කෙතේ තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, ‘අප කන්නේ මොනවා ද? බොන්නේ මොනවා ද? අඳින්නේ මොනවා ද?’ කියමින් කනස්සලු නො වන්න. මන්ද අන්‍ය-ජාතීහු ඒ සියල්ල හඹා යති. ඒවා ඔබට වුවමනා වග ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නා සේක.






