“පුරාතන ජනයාට, ‘මිනී නො මරනු; මිනී මරන කවරකු නමුත් විනිශ්චයට යටත් යැ’ යි කියා ඇති වග ඔබ අසා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය, ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.
“එබැවින් පූජාසනයේ ඔබ, ඔබේ පඬුර පුදන කල, ඔබේ සහෝදරයාට ඔබට එරෙහි යමක් වෙතැයි සිහි වුවහොත්, ඔබේ පඬුර, පූජාසනය පසෙක තබා, පළමු ව ගොස්, ඔබේ සහෝදරයා හා සමඟි වී, ඉන්පසු අවුත් ඔබේ පඬුර පුදන්න.
“ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, පමා නො වී, ඔහු හා සමථයකට එළැඹෙන්න. නැතහොත් ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔබ ව සිර ගෙයි දමනු ඇත. සත්තකින් ම මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු, ඔබ ඉන් පිටතට නො එන බවයි.
“ ‘පරදාර සේවනය නො කළ යුතු ය’ කියා ඇති වග ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි. ඔබේ දකුණු ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත දමන්න. මන්ද ඔබගේ මුළු සිරුර ම නිරයට හෙළනු ලැබීමට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම වඩා හොඳ ය. ඔබගේ දකුණු අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවතලන්න. ඔබගේ මුළු සිරුර ම නිරයට යනවාට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම ඔබට වඩා හොඳ ය.
“ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’ යි කියා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කර ගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.
“තවද, ‘බොරුවට නො දිවුරන්න; ස්වාමින්වහන්සේට කළ ඔබේ දිවුරුම ඉටු කරන්නැ’ යි පුරාතන ජනයාට කියා ඇති වග ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, කොහෙත් ම නො දිවුරන්න. ස්වර්ගය, දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් එය ගැනවත්, පොළොව, උන්වහන්සේගේ පා පුටුව බැවින් එය ගැනවත්, යෙරුසලම, ශ්‍රේෂ්ඨ රජුගේ පුරවරය බැවින් එය ගැනවත් නො දිවුරන්න. ඔබේ හිස ගැනත් නො දිවුරන්න; මන්ද එක් හිස කෙසක්වත් සුදු හෝ කළු කරන්නට ඔබට නො හැකි ය. ඔබ කියන දේ ‘ඔව්’ නම් ඔව් කියා ද හෝ ‘නැත’ නම් නැත කියා ද කීම සෑහේ; ඊට වැඩියෙන් පවසන දෑ එන්නේ නපුරාගෙනි.
“ ‘ඇසකට ඇසකි; දතකට දතකි’ යි කියා ඇති බව ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට එරෙහි නො වන්න. යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවහොත්, ඔහුට අනෙක් කම්මුලත් හරවන්න. නඩු කියා යමකු ඔබේ යටි කබාය ගන්නට කැමැත්තේ නම්, ඔබේ උඩු කබායත් ඔහුට දෙන්න. සැතපුමක් යන්නැයි යමකු ඔබට බල කළහොත්, ඔහු හා සැතපුම් දෙකක් ම යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න. ඔබෙන් ණයට ගන්නට කැමති තැනැත්තාට නො පිටුපාන්න.
“ ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න; ඔබේ සතුරාට වෛර කරන්නැ’ යි කියා ඇති බැව් ඔබ අසා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න කියා ය.