මතෙව් 5:11-16

මතෙව් 5:11-16 SCV

“මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරක ම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය. ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙස ම ය. “ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නො හැක. කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුට ම එය එළිය දෙයි. එලෙස ම අන්‍යයන් ඔබගේ සද් ක්‍රියා දැක, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේට මහිමය දෙන පිණිස, ඔවුන් ඉදිරියේ ඔබේ එළිය බබළවන්න.