මතෙව් 5:1-20

මතෙව් 5:1-20 SCV

ජනකාය දුටු කල, යේසුස්වහන්සේ කන්දට නැගුණ සේක. උන්වහන්සේ හිඳගත් පසු, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙත ආහ. එකල උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උගන්වන්ට වන් සේක. උන්වහන්සේ මෙසේ කී සේක: “ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝකවන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සනසනු ලබන්නෝ ය. මෘදු ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු පොළොව උරුම කර ගන්නෝ ය. ධර්මිෂ්ඨකමට සා-පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සෑහීමට පත් වන්නෝ ය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දයාව ලබන්නෝ ය. හදින් පවිත්‍ර ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේ දකින්නෝ ය. සාමය සලසන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය කියනු ලබන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. “මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරක ම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය. ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙස ම ය. “ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නො හැක. කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුට ම එය එළිය දෙයි. එලෙස ම අන්‍යයන් ඔබගේ සද් ක්‍රියා දැක, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේට මහිමය දෙන පිණිස, ඔවුන් ඉදිරියේ ඔබේ එළිය බබළවන්න. “ව්‍යවස්ථාව හෝ දිවැසිවරුන් හෝ අවලංගු කරන්නට මා ආවා යයි නො සිතන්න; ඒවා සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට මා ආවා නො වෙයි. මන්ද සැබවින් ම මා ඔබට කියන්නේ, අහසත්, පොළොවත් පහව යන තෙක්, ව්‍යවස්ථාවෙන් එක් ඉස්පිල්ලක්, පාපිල්ලක් වුව කිසි සේත් පහ වී නො යන වගයි. ඉන් ඉතාම සුළු ආඥාවක් හෝ කඩ කරන, කඩ කරන්නට අන් අයට උගන්වන කවරකු නමුදු ස්වර්ග රාජ්‍යයේ ඉතා සුළු කෙනකු සේ සැලකේ. එහෙත් ඒ නියෝග පිළිපදින, පිළිපැදීමට උගන්වන කවරකු නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම් කෙනකු සේ සැලකේ. මන්ද ඔබගේ ධර්මිෂ්ඨකම, පරිසිවරුන්ගේ හා දහම් පඬිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවන්නේ නැති නම්, කිසි කල ස්වර්ග රාජ්‍යයට ඔබ ඇතුළු වන්නේ නැත.

මතෙව් 5:1-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය