මතෙව් 4:1-11

මතෙව් 4:1-11 SCV

ඉන්පසු යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස, ආත්මයාණන්වහන්සේ විසින් යේසුස්වහන්සේ පාළුකරයට ගෙන යනු ලැබූ සේක. දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාර ව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය. එවිට, පරීක්ෂාකාරයා ඇවිත්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, රොටි වන ලෙසට මේ ගල්වලට අණ කරන්නැ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, දෙවියන්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින් ම ය’ කියා ලියා තිබේ යැ” යි පැවසූ සේක. ඉන්පසු යක්ෂයා, ශුද්ධ නගරයට උන්වහන්සේ පමුණුවා, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, මෙතැනින් බිමට පනින්න. මන්ද: “ ‘උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක. තවද ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත්තේ, ඔබගේ පාද ගලක නො වදින ලෙසට ය’ කියා ලියා ඇතැ” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක. යක්ෂයා නැවතත් ඉතා උස් කන්දකට උන්වහන්සේ පමුණුවා, ලොව සියලු රාජ්‍යයන් ද ඒවායේ ශෝභාලංකාරය ද උන්වහන්සේට පෙන්වා, “ඔබ වැඳ වැටී, මට නමස්කාර කළොත්, මේ සියල්ල ම මම ඔබට දෙන්නෙමි” යි උන්වහන්සේට කීවේ ය. එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක් ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක. එවිට යක්ෂයා උන්වහන්සේ හැර ගියේ ය; දේව දූතයෝ පැමිණ උන්වහන්සේට සත්කාර කළහ.

මතෙව් 4:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය