මතෙව් 3:1-12

මතෙව් 3:1-12 SCV

එදවස්හි යොහන් බව්තීස්ත යුදයේ පාළුකරයේ දේශනා කරමින්, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් ආවේ ය. දිවැසිවර යෙසායා මගින්: “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු, උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි කියැවුණේ මොහු ගැන ය. යොහන් ඔටු ලෝම වස්ත්‍රයක් හැඳ සිටියේ ය. ඔහුගේ ඉණ වටා හම් පටියක් බැඳ තිබිණ. ඔහුගේ ආහාර, පළඟැටියන් හා වන මී ය. යෙරුසලමෙන්, මුළු යුදයෙන් හා යොර්දාන් පෙදෙස් මුළුල්ලෙන් ජනයා ඔහු වෙත ගොස්, තමන්ගේ පාප කියා දෙමින්, යොර්දාන් නදියෙහි ඔහුගෙන් බව්තීස්ම ලදහ. එහෙත් පරිසිවරුන් හා සද්දුසිවරුන් බොහෝ දෙනෙක් බව්තීස්ම ලබන්නට එනු දුටු ඔහු, ඔවුන් අමතමින්, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද? පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි. පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක් ම කපා ගින්නෙහි හෙළනු ලැබේ. “පසුතැවිල්ල සඳහා මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් ය; එතුමන්ගේ පාවහන් මුදන්නට තරම් වත් මා වටින්නේ නැත. උන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරනු ඇත. උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය; උන්වහන්සේ තම කමත පවිත්‍ර කරමින්, තම ධාන්‍ය අටුවේ රැස් කර, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි පැවසී ය.