මතෙව් 28:10-20

මතෙව් 28:10-20 SCV

යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක. ඔවුන් එසේ යන අතරේ, මෙන්න, මුර සෙබළුන්ගෙන් ඇතමෙක් නගරයට පිවිස, සිදු වී ඇති සියල්ල නායක පූජකයනට සැල කළහ. නායක පූජකවරු වැඩිහිටියන් සමඟ සාකච්ඡා කොට, මුර සෙබළුනට ලොකු මුදලක් දී, ඔවුන් අමතමින්, “නුඹලා ජනයාට මෙහෙම කිව යුතුයි, ‘අප නිදා සිටින අතර, රෑ ඔහුගේ ගෝලයින් අවුත්, ඔහු සොරාගෙන ගියා.’ ඉදින්, ආණ්ඩුකරුට මේ පුවත ගියහොත්, අප ඔහු සතුටු කර, නුඹලාට කරදරයක් නො වන්නට කටයුතු කරනවා” යි කීහ. මෙසේ මුදල් ලබා ගත් මුර සෙබළු, තමන් උපදෙස් ලද පරිදි කළහ. මේ කතාව අද දවස දක්වා යුදෙව්වරුන් අතර පැතිර පවතී. ගෝලයින් එකොළොස් දෙනා, යේසුස්වහන්සේ ඔවුනට පවසා තිබූ පරිදි ගලීලයේ කන්දට ගියහ. උන්වහන්සේ දුටු කල ඔවුහු උන්වහන්සේට නමස්කාර කළහ. එහෙත් ඇතමෙක් සැක කළහ. යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත්, “ස්වර්ගයේත්, පොළොවේත් සියලු ආධිපත්‍යය මට දී තිබේ. එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද මා ඔබට අණ කළ හැම දේට ම කීකරු වීමට ඔවුන්ට උගන්වමින් ද එසේ කරන්න. සැබවින් ම යුගයේ අවසානය දක්වා නිරතුරු ව මම ඔබ සමඟ සිටිමි” යි පැවසූ සේක.