මතෙව් 26:59-75

මතෙව් 26:59-75 SCV

නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණු වන පිණිස, උන්වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සොයන්නට වූහ. බොරු සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුව ද, ඔවුන්ට කිසිවක් සොයාගත නො හැකි විය. අන්තිමේදී දෙදෙනෙක් ඉදිරිපත් වී, “ ‘දෙවියන්වහන්සේගේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් එය යළි ගොඩ නගන්න මට පුළුවන් ය’ කියා මොහු කීවා” යි ප්‍රකාශ කළහ. එවිට උත්තම පූජකයා නැගිට, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ නිහඬ ව සිටි සේක. එවිට උත්තම පූජකයා උන්වහන්සේ අමතමින්, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ ඔබ නම්, ඒ වග අපට කියන ලෙස, ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඔබට අණ කරමි” යි පැවසී ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ ම කීවෙහි ය. එහෙත් මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද මෙතැන් පටන් ඔබ දකිනු ඇත කියා යැ” යි පැවසූ සේක. එවිට තම හැඳිවත් ඉරා ගත් උත්තම පූජකයා, “ඔහු කීවේ දේවාපහාස! තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? මේ දැන් ඔහුගේ දේවාපහාසය ඔබට ඇහුණා; ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. “ඔහු සුදුසු මරණයට යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට ඔවුහු, උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූහ; මිට මොළවා පහර දුන්හ. සෙසු අය උන්වහන්සේට අත්මිටින් පහර දෙමින්, “ඔබට ගැහුවේ කවුරු ද කියා දිවැසින් අපට කිව මැනව ක්‍රිස්තුනි” යි කීහ. මේ අතර පේතෘස් පිටත මිදුලේ හිඳගෙන සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ගලීල යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය. එහෙත් ඒ සියල්ලන් ඉදිරියේ එය ප්‍රතික්ෂේප කළ ඔහු, “ඔබ මොනවා කියනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඉන්පසු ඔහු පිටත දොරකඩ වෙත ගියේ ය. එහිදී වෙනත් සේවිකාවක් ඔහු දැක, “මේ මිනිහා අර නාසරෙත්හි යේසුස් සමඟ සිටියා” යි එහි සිටියවුනට කීවා ය. යළිත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින්, “මා ඒ මිනිසා හඳුනන්නේ නැතැ!” යි දිවුරා කීවේ ය. මද වේලාවකට පසු ඔහු අසල සිටි අය ඔහු ළඟට අවුත්, “ඇත්තෙන් ම ඔබ ඔවුන්ගෙන් කෙනෙක් තමයි. ඔබගේ උච්චාරණය ඔබ පාවා දේ යැ” යි කීහ. එවිට ඔහු තමාට ම ශාප කර ගන්නටත්, “මා ඒ මිනිසා හඳුනන්නේ නෑ!” යි කියමින් දිවුරන්නටත් වන්නේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය. එවිට, “කුකුළා හඬලන්නට පෙර ඔබ, මා හඳුනන්නේ නැතැයි තුන් වරක් ම කියනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ වචන පේතෘස් සිහි කොට, එතැනින් පිට ව ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.