නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ යේසුස්වහන්සේ වෙත ආ උන්වහන්සේගේ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “නගරයට ඇතුල් ව, අසවලා වෙත ගොස්, ‘මගේ වේලාව ළඟයි; මගේ ගෝලයින් සමඟ මා පාස්කුව පවත්වන්නේ ඔබේ නිවසේදී ය’ කියා ගුරුතුමා කියනවායි ඔහුට කියන්නැ” යි පැවසූ සේක. ගෝලයෝ යේසුස්වහන්සේ දුන් උපදෙස් ලෙස පාස්කුව එහි පිළියෙල කළෝ ය.
සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ මේසයට හිඳගත් සේක. එසේ ආහාර ගනිමින් සිටියදී ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.
ඉන් මහත් සොවට පත් ගෝලයෝ, “ඒ මම ද ස්වාමිනි?” යි එක් කෙනකුට පසුව එක් කෙනකු බැගින් අසන්නට වූහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා සමඟ තලියේ අත ලූ තැනැත්තා ම මා පාවා දෙනු ඇත. උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.
එවිට උන්වහන්සේ පාවා දෙන්නා වූ යූදස්, “ඒ මම ද රබ්බී?” යි ඇසී ය.
“ඔබ ම කීවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.
ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න, ගෙන කන්න; මෙය මගේ ශරීරය යැ” යි කී සේක.
ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට දෙමින්, “ඔබ හැම මෙයින් ගෙන පානය කරන්න; මන්ද මෙය බොහෝ දෙනකු උදෙසා, පාප කමාව සඳහා වගුරු වන ලබන ගිවිසුමේ මගේ ලෙයයි. මගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයේදී ඔබ සමඟ අලුතින් පානය කරන දවස දක්වා මෙතැන් පටන් මම මේ මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක.
ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.
ඉන්පසු ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “මා නිසා ඔබ හැම මේ රැයේ ම මා අතහැර යනු ඇත. මන්ද,
“ ‘මම එඬේරාට පහර දෙන්නෙමි;
රැළේ බැටළුවෝ එවිට විසුරුවනු ලබති’ යි
ලියා ඇත.
එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.
එවිට පේතෘස් කතා කරමින්, “ඔබ නිසා හැම දෙනා ඔබ හැර දා ගියත්, මම කිසි කලෙක හැර නො යමි” යි කී ය.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්. “සැබවින් ම මා ඔබට කියන්නේ, අද මේ රැයේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක් ම කියනු ඇතැ” යි පැවසූ සේක.
“ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස්, ප්‍රකාශ කළේ ය. සෙසු ගෝලයෝ සැවොම ඒ දේ ම කීහ.
ඉන්පසු තම ගෝලයින් සමඟ ගෙත්සෙමන නම් ස්ථානයට පැමිණි යේසුස්වහන්සේ, “මා අතැනට ගොස්, යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. උන්වහන්සේ පේතෘස් හා සෙබදීගේ පුතුන් දෙදෙනා කැටිව ගොස්, ශෝක වන්නටත්, සංවේගී වන්නටත් විය. එකල උන්වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මා සමඟ මෙහි අවදියෙන් ඉන්නැ” යි පැවසූ සේක.
ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිමට නමා, යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක.
ඉන්පසු ගෝලයින් වෙත පැමිණි කල, ඔවුන් නිදා සිටිනු දුටු උන්වහන්සේ පේතෘස් අමතමින්, “මා සමඟ එක පැයක් අවදියෙන් ඉන්න ඔබට බැරි වුණා ද? පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
දෙවන වරටත් ඔවුන් වෙතින් මෑත් වූ යේසුස්වහන්සේ, “මගේ පියාණෙනි, මා පානය කරනු ලැබීමෙන් තොර ව මේ කුසලාන ඉවත් කළ නො හැකි නම්, ඔබගේ කැමැත්තම වේවා!” යි යාච්ඤා කළ සේක.
යළි ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් යළි නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බර ව තිබිණි. ඔවුන් වෙතින් යළිත් මෑතට ගිය උන්වහන්සේ, තුන් වන වරටත් යාච්ඤා කරමින්, එම වචන ම පැවසූ සේක.
ඉන්පසු යළිත් ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? මෙන්න, පැය ළං වෙලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි. නැගිටින්න; අපි යමු. මෙන්න, මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.
උන්වහන්සේ කතා කරද්දී ම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් එහි ළඟා වූයේ, නායක පූජකයින් හා ජනයාගේ වැඩිහිටියන් විසින් එවනු ලැබූ, කඩු මුගුරු රැගත් මහා පිරිසක් ද සමඟ ය. පාවා දෙන්නා කණ්ඩායමට ලකුණක් දෙමින්, “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි; ඔහු අල්ලා ගන්නැ” යි සූදානම් කොට තිබිණි. ඔහු කෙළින් ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.
“මිත්‍රය, ඔබ කරන්නට ආ දේ කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක.
පැමිණි පිරිස එවිට ඉදිරියට අවුත්, යේසුස්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. එවිට මෙන්න, යේසුස්වහන්සේ සමඟ සිටි කෙනෙක් අත දිගු කොට, තම කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපෙන්නට කඩු පහරක් ගැසී ය.
යේසුස්වහන්සේ, එවිට ඔහු අමතමින්, “ඔබේ කඩුව යළි කොපුවේ දමා ගන්න. මන්ද කඩුගත් සියල්ලෝ කඩුවෙන් ම නසිති. මගේ පියාණන්වහන්සේගෙන් ආධාර ඉල්ලන්නට මට බැරියැයි ඔබ සිතනවා ද? එවිට මේ දැන් මා වෙත දේව දූත සේනාංක දොළහක් උන්වහන්සේ නො එවාවි ද? එසේ කළහොත් විය යුතු යයි කියැවෙන ශුද්ධ ලියවිලි පාඨ ඉටු වන්නේ කෙසේ දැ?” යි පැවසූ සේක.
ඒ පැයේදී යේසුස්වහන්සේ පිරිස් අමතමින්, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ හිඳ ඉගැන්වූයෙමි. එහෙත් නුඹලා මා අල්ලා ගත්තේ නැත. සැබවින් ම මේ හැම එකක් ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.