මතෙව් 26:1-25

මතෙව් 26:1-25 SCV

යේසුස්වහන්සේ මේ සියල්ල කියා නිම කළ පසු, තම ගෝලයින් අමතමින්, “තව දවස් දෙකකින් පාස්කු උළෙල එන වග ඔබ දනී. මනුෂ්‍ය පුත්‍රයාණන් ද කුරුසිපත් කරනු ලබන්නට පාවා දෙනු ලබන්නේ යැ” යි කී සේක. එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ, රහසේ ම යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළෝ ය. නමුත්, “උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ. යේසුස්වහන්සේ බෙතානි ගම්මානයේ කුෂ්ඨ රෝගියා වූ සීමොන්ගේ නිවසේ සිටියදී, කිරිගරුඬ බඳුනක ඉතා මිල අධික සුවඳ විලවුන් රැගෙන ආ එක් ස්ත්‍රියක්, උන්වහන්සේ මේසයට හිඳ සිටියදී, ඒ සුවඳ විලවුන් උන්වහන්සේගේ හිසේ වත් කළා ය. ඒ දුටු ගෝලයෝ කුපිත ව, “මේ මොන නාස්තියක් ද? මේ සුවඳ විලවුන් වැඩි මිලකට විකුණා, ඒ මුදල් දුප්පතුන්ට බෙදා දෙන්න තිබුණා” යි කීවෝ ය. යේසුස්වහන්සේ ඒ බව දැන, ඔවුන් අමතමින්, “මේ ස්ත්‍රියට කරදර කරන්නේ ඇයි? ඇය මට කර තිබෙන්නේ මනහර දෙයක්. මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ. මෙම විලවුන් මා සිරුරේ වත් කිරීමෙන් ඇය කළේ, භූමදානයට මා සූදානම් කිරීමයි. සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින්, ඇය කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක. එකල දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නැමැත්තා නායක පූජකවරුන් වෙත ගොස්, “මා, ඔබට එතුමන් පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. ඔවුහු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. එවේලේ පටන් ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය. නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ යේසුස්වහන්සේ වෙත ආ උන්වහන්සේගේ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “නගරයට ඇතුල් ව, අසවලා වෙත ගොස්, ‘මගේ වේලාව ළඟයි; මගේ ගෝලයින් සමඟ මා පාස්කුව පවත්වන්නේ ඔබේ නිවසේදී ය’ කියා ගුරුතුමා කියනවායි ඔහුට කියන්නැ” යි පැවසූ සේක. ගෝලයෝ යේසුස්වහන්සේ දුන් උපදෙස් ලෙස පාස්කුව එහි පිළියෙල කළෝ ය. සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ මේසයට හිඳගත් සේක. එසේ ආහාර ගනිමින් සිටියදී ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක. ඉන් මහත් සොවට පත් ගෝලයෝ, “ඒ මම ද ස්වාමිනි?” යි එක් කෙනකුට පසුව එක් කෙනකු බැගින් අසන්නට වූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා සමඟ තලියේ අත ලූ තැනැත්තා ම මා පාවා දෙනු ඇත. උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක. එවිට උන්වහන්සේ පාවා දෙන්නා වූ යූදස්, “ඒ මම ද රබ්බී?” යි ඇසී ය. “ඔබ ම කීවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.

මතෙව් 26:1-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය