මතෙව් 25:3-13

මතෙව් 25:3-13 SCV

මන්ද නුවණ නැත්තියන් පහන් රැගෙන ගිය නමුදු, ඒ සඳහා තෙල් ගෙන ගියේ නැත. එහෙත් නුවණ ඇත්තියෝ තම පහන් සමඟ බඳුන්හි ලූ තෙල් ද ගෙන ගියෝ ය. මනාලයා පමා වූයෙන් ඔවුන් හැම නිදි බර ව, නින්දට වැටුණහ. “මැදියම් රැයේ මොර හඬ දීමක් විය: ‘මෙන්න මනාලයා! ඔහු හමුවට එන්නැ!’ යි ඉන් කියැවිණි. “එකල ඒ කන්‍යාවෝ සැවොම නැගුටුණෝ, තම තමන්ගේ පහන් තිර සකස් කළෝ ය. එවිට නුවණ නැත්තියෝ, නුවණ ඇත්තියන් අමතමින්, ‘අපට ඔබෙන් තෙල් ඩිංගක් දෙන්න; අපේ පහන් නිවී යතැ’ යි කීවෝ ය. “එහෙත්, නුවණ ඇත්තියෝ පිළිතුරු දෙමින්, ‘අපටත්, ඔබටත් සෑහෙන තරම් තෙල් මෙහි නැති බැවින්, තෙල් වෙළඳුන් වෙත ගොස්, ඔබ ම මිල දී ගන්නැ’ යි කීවෝ ය. “එසේ ඔවුන් තෙල් මිල දී ගැනීමට යන අතරේ, මනාලයා පැමිණියේ ය. සූදානම් ව සිටි අය ඔහු සමඟ මංගල උත්සවයට ඇතුල් වූහ. දොරටුව ද වසන ලදී. “ඉන්පසු අනෙක් කන්‍යාවෝ පැමිණ, ‘ස්වාමිනි, ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කීහ. “එහෙත් ඔහු පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ මා ඔබ හඳුනන්නේ නැත කියා යැ’ යි කීවේ ය. “එබැවින්, ඒ දවසවත්, ඒ පැයවත් ඔබ නො දන්න නිසා අවදිව සිටින්න.