මතෙව් 25:14-23

මතෙව් 25:14-23 SCV

“තවද එය, තම මෙහෙකරුවන් කැඳවා, ඔවුන්ට තම වස්තුව පවරා, චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය. ඔහු කෙනකුට තලෙන්ත පහක් ද තවකකුට තලෙන්ත දෙකක් ද තවකකුට එක් තලෙන්තයක් ද යන වශයෙන් ඒ ඒ අයගේ හැකියාව අනුව බාර දුන්නේ ය. ඉන්පසු ඔහු පිටත් ව ගියේ ය. තලෙන්ත පහ ලද තැනැත්තා සැණෙක පිටත් ව ගොස්, ඒවා යොදවා වෙළඳාම් කර, තවත් තලෙන්ත පහක් ඉපද වී ය. තලෙන්ත දෙක ලද තැනැත්තා ද එලෙස, වැඩිපුර තවත් තලෙන්ත දෙකක් ඉපද වී ය. එහෙත් එක් තලෙන්තය ලද තැනැත්තා පිටතට ගොස් පොළොවේ වළක් හාරා, තම හාම්පුතාගේ මුදල එහි සැඟවී ය. “දිගු කලකට පසු පෙරළා පැමිණි ඒ සේවකයින්ගේ හාම්පුතා ඔවුන් සමඟ ගණන් බැලුවේ ය. එවිට තලෙන්ත පහ ලද තැනැත්තා වැඩිපුර වූ තලෙන්ත පහ ද ඉදිරියට ගෙන අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත පහක් මට බාර දුන්නා. මෙන්න, මා ඉන් වැඩිපුර පහක් ඉපදෙව්වා’ යි කීවේ ය. “ඔහුගේ හාම්පුතා කතා කරමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය. “තලෙන්ත දෙක ලද තැනැත්තා ද ඉදිරියට අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත දෙකක් මට බාර දුන්නා. මෙන්න, මා වැඩිපුර තවත් දෙකක් ඉපදෙව්වා’ යි කී ය. “ඔහුගේ හාම්පුතා ඔහු අමතමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.