“එකල ස්වර්ග රාජ්‍යය, තම පහන් රැගෙන, මනාලයා හමුවීමට පිටත් ව ගිය කන්‍යාවන් දස දෙනකුට සමාන ය. ඔවුන්ගෙන් පස් දෙනෙක් නුවණ නැත්තියෝ ය; පස් දෙනෙක් නුවණ ඇත්තියෝ ය. මන්ද නුවණ නැත්තියන් පහන් රැගෙන ගිය නමුදු, ඒ සඳහා තෙල් ගෙන ගියේ නැත. එහෙත් නුවණ ඇත්තියෝ තම පහන් සමඟ බඳුන්හි ලූ තෙල් ද ගෙන ගියෝ ය. මනාලයා පමා වූයෙන් ඔවුන් හැම නිදි බර ව, නින්දට වැටුණහ.
“මැදියම් රැයේ මොර හඬ දීමක් විය: ‘මෙන්න මනාලයා! ඔහු හමුවට එන්නැ!’ යි ඉන් කියැවිණි.
“එකල ඒ කන්‍යාවෝ සැවොම නැගුටුණෝ, තම තමන්ගේ පහන් තිර සකස් කළෝ ය. එවිට නුවණ නැත්තියෝ, නුවණ ඇත්තියන් අමතමින්, ‘අපට ඔබෙන් තෙල් ඩිංගක් දෙන්න; අපේ පහන් නිවී යතැ’ යි කීවෝ ය.
“එහෙත්, නුවණ ඇත්තියෝ පිළිතුරු දෙමින්, ‘අපටත්, ඔබටත් සෑහෙන තරම් තෙල් මෙහි නැති බැවින්, තෙල් වෙළඳුන් වෙත ගොස්, ඔබ ම මිල දී ගන්නැ’ යි කීවෝ ය.
“එසේ ඔවුන් තෙල් මිල දී ගැනීමට යන අතරේ, මනාලයා පැමිණියේ ය. සූදානම් ව සිටි අය ඔහු සමඟ මංගල උත්සවයට ඇතුල් වූහ. දොරටුව ද වසන ලදී.
“ඉන්පසු අනෙක් කන්‍යාවෝ පැමිණ, ‘ස්වාමිනි, ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කීහ.
“එහෙත් ඔහු පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ මා ඔබ හඳුනන්නේ නැත කියා යැ’ යි කීවේ ය.
“එබැවින්, ඒ දවසවත්, ඒ පැයවත් ඔබ නො දන්න නිසා අවදිව සිටින්න.
“තවද එය, තම මෙහෙකරුවන් කැඳවා, ඔවුන්ට තම වස්තුව පවරා, චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය. ඔහු කෙනකුට තලෙන්ත පහක් ද තවකකුට තලෙන්ත දෙකක් ද තවකකුට එක් තලෙන්තයක් ද යන වශයෙන් ඒ ඒ අයගේ හැකියාව අනුව බාර දුන්නේ ය. ඉන්පසු ඔහු පිටත් ව ගියේ ය. තලෙන්ත පහ ලද තැනැත්තා සැණෙක පිටත් ව ගොස්, ඒවා යොදවා වෙළඳාම් කර, තවත් තලෙන්ත පහක් ඉපද වී ය. තලෙන්ත දෙක ලද තැනැත්තා ද එලෙස, වැඩිපුර තවත් තලෙන්ත දෙකක් ඉපද වී ය. එහෙත් එක් තලෙන්තය ලද තැනැත්තා පිටතට ගොස් පොළොවේ වළක් හාරා, තම හාම්පුතාගේ මුදල එහි සැඟවී ය.
“දිගු කලකට පසු පෙරළා පැමිණි ඒ සේවකයින්ගේ හාම්පුතා ඔවුන් සමඟ ගණන් බැලුවේ ය. එවිට තලෙන්ත පහ ලද තැනැත්තා වැඩිපුර වූ තලෙන්ත පහ ද ඉදිරියට ගෙන අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත පහක් මට බාර දුන්නා. මෙන්න, මා ඉන් වැඩිපුර පහක් ඉපදෙව්වා’ යි කීවේ ය.
“ඔහුගේ හාම්පුතා කතා කරමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.
“තලෙන්ත දෙක ලද තැනැත්තා ද ඉදිරියට අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත දෙකක් මට බාර දුන්නා. මෙන්න, මා වැඩිපුර තවත් දෙකක් ඉපදෙව්වා’ යි කී ය.
“ඔහුගේ හාම්පුතා ඔහු අමතමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.
“ඉන්පසු, එක් තලෙන්තය ලද තැනැත්තා ඉදිරියට අවුත්, ‘ස්වාමිනි ඔබ, නො වපුළ දේ කපා ගන්නා වූ, නො විසිරු බීජ රැස්කරන්නාවූ තද ගති ඇති කෙනකු බැව් මා දැන සිටියා. එබැවින් මා බයින් ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ වළලා තැබුවා. මෙන්න, ඔබට අයිති දේ’ යි කී ය.
“ඔහුගේ හාම්පුතා පිළිතුරු දෙමින්, ‘දුෂ්ට, අලස දාසය! මා නො වපුළ දේ කපා ගන්නා, නො විසිරු බීජ රැස්කරනා කෙනකු වග ඔබ දැන සිටියා ද? එසේ නම් ඔබ කළ යුතු ව තිබුණේ, මගේ මුදල් බැංකුකරුවන් වෙත ආයෝජන කිරීමයි. එසේ කළා නම්, මා ආපසු ආ කල, පොලියත් සමඟ මට හිමි දේ ආපසු ගත හැකි ව තිබුණා.
“ ‘තලෙන්තය මොහුගෙන් ගෙන, තලෙන්ත දහය ඇත්තාට දෙන්න. මන්ද ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ. ඔහුට අධික ව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ. කිසි කමකට නැති මේ දාසයා පිටත අන්ධකාරයට හෙළනු; එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ යැ’ යි කීවේ ය.