මතෙව් 24:23-51

මතෙව් 24:23-51 SCV

එකල යමෙක් ඔබට කතා කර, ‘මෙන්න, ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න. මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත. ඔන්න, කල්තියා ම මම ඔබට කීවෙමි. “එබැවින්, ඔවුන් ඔබට කතා කොට, ‘අන්න, එතුමන් පාළුකරයේ’ යි කීවොත්, පිටතට නො යන්න, ‘මෙන්න, එතුමන් ඇතුළු කුටියකැ’ යි කීවොත් එය විශ්වාස නො කරන්න. මන්ද පෙරදිගින් නැගෙන විදුලිය, බටහිර දක්වා ඈතට දිදුලන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එසේ ම වන්නේ ය. මළකුණක් ඇත්තේ කොතැනක ද ගිජු ලිහිණි රැස් වන්නේ එතැනට ය. “එදවස්හි විපත් පීඩා නිම වූ කෙණෙහි ම “ ‘හිරු අඳුරු වනු ඇත, සඳු එහි එළිය නො දෙනු ඇත; තරු අහසින් කඩා වැටෙනු ඇත, අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’ “එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතු ව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත. එවිට උන්වහන්සේ මහා හොරණෑ හඬක් සහිත ව, ස්වකීය දූතයින් පිටත් කර එවන සේක. ඔවුන් අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා පොළොවේ සතර දිගින් ම උන්වහන්සේගේ තෝරා ගත්තවුන් රැස් කරනු ඇත. “අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න: එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති. එලෙස ම, මේ දේවල් සිදු වනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟ ම බව දැනගන්න. සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි. අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මගේ වචන පහව යන්නේ නැත. “පියාණන්වහන්සේ පමණක් මිස, ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත; ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී වන්නේ නෝවාගේ දවස්වලදී සිදු වූ ලෙස ම ය. මන්ද ජලගැල්මට කලින් නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද හා විවාහ වෙමින් සිටි ලෙස ය. ජලගැල්ම ගලා, ඔවුන් හැම ගසා ගෙන යන තුරු කුමක් වී දැයි ඔවුහු නො දත්හ. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී සිදු වන්නේ එය ම ය. මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ. ස්ත්‍රීන් දෙදෙනකු ඇඹරුම් ගලක අඹරමින් සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙක් තැනැත්තිය හැර දමා යනු ලැබේ. “එබැවින් විමසිල්ලෙන් සිටින්න. මන්ද ඔබගේ ස්වාමින්වහන්සේ කෙදිනක පැමිණේදෝයි ඔබ නො දන්නා බැවිනි. එනමුත් මෙය වටහා ගන්න: සොරා එන්නේ රැයේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, විපරමින් සිට, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත. එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත. “එසේ නම් තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති සේවකයා කවුරු ද? ස්වාමියා ආපසු එන කල ඒ සේවකයා එසේ කරනවා දකින්නේ නම්, ඔහු භාග්‍යවත් ය. සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි. එහෙත් ඒ නපුරු සේවකයා, ‘මගේ ස්වාමියා එන්නට පමා වෙතැ’ යි කියා ගනිමින් සෙසු සේවකයන්ට තලන්නටත්, බේබද්දන් සමඟ කන්නට-බොන්නටත් පටන් ගතහොත්, ඔහු එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ, ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, කැබලිවලට කපා, කුහකයින් සමඟ දමනු ඇත, එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇත.