යේසුස්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයෝ දේව මාලිග ගොඩනැගිලි වෙත උන්වහන්සේගේ අවධානය යොමුකරවන්නට උන්වහන්සේ වෙත ආහ. එවිට උන්වහන්සේ, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබවින් ම මා ඔබට කියන්නේ, ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක් ම බිඳ දමා පොළොවට සමතලා කර දමන කාලයක් පැමිණෙන බව යැ” යි පැවසූ සේක.
ඉන්පසු යේසුස්වහන්සේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පෞද්ගලික ව උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “එය සිදු වන්නේ කවරදා ද? ඔබගේ පැමිණීමේත්, මේ යුගයේ අවසානයේත් පෙර නිමිත්ත කුමක් දැයි අපට කියන්නැ” යි කීහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වග බලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මගේ නාමයෙන් අවුත්, ‘ක්‍රිස්තුස් මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත. යුද්ධ හා යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙයි. ඒවායින් තැතිගැනීමෙන් වළකින්නට බලා ගන්න. මන්ද එය සිදු විය යුතු ව තිබේ. එහෙත් අවසානය එය නො වේ. ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදු වනු ඇත. මේ සියල්ල ප්‍රසව වේදනාවේ පටන් ගැන්ම ය.
“එකල ඔබට විපත් පීඩා පමුණු වන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත. එකල බොහෝ දෙනකු ඇදහිල්ලෙන් වැටී, එකිනෙකා පාවා දෙනු ඇත; එකිනෙකාට වෛර කරනු ඇත. බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ද නැගිට, බොහෝ දෙනකු මුළා කරනු ඇත. නොපණත්කම අධික වන බැවින් වැඩි දෙනාගේ ප්‍රේමය නිවී යනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිර ව සිටින්නා ගලවනු ලබන්නේ ය. රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.
“එබැවින්, දානියෙල් දිවැසිවරයා මගින් පවසන ලද ‘බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල’ ශුද්ධස්ථානයේ සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා). යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! තම ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා! කෙතෙහි සිටින්නා, තම කබාය ගන්නට ආපසු නො ඒවා! ගැබිනියනටත්, කිරි දෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. ඔබේ පලා යෑම ශීත කාලයේ හෝ සබතක හෝ නො වන ලෙස යාච්ඤා කරන්න. මන්ද ලොව ඇරඹුණු තැන් පටන් මෙතෙක් සිදු නො වූ, මතු කවර කලෙක සිදු නො වන මහා විපත්-පීඩාවක් වනු ඇත.
“ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් තෝරා ගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කෙරේ. එකල යමෙක් ඔබට කතා කර, ‘මෙන්න, ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න. මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත. ඔන්න, කල්තියා ම මම ඔබට කීවෙමි.
“එබැවින්, ඔවුන් ඔබට කතා කොට, ‘අන්න, එතුමන් පාළුකරයේ’ යි කීවොත්, පිටතට නො යන්න, ‘මෙන්න, එතුමන් ඇතුළු කුටියකැ’ යි කීවොත් එය විශ්වාස නො කරන්න. මන්ද පෙරදිගින් නැගෙන විදුලිය, බටහිර දක්වා ඈතට දිදුලන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එසේ ම වන්නේ ය. මළකුණක් ඇත්තේ කොතැනක ද ගිජු ලිහිණි රැස් වන්නේ එතැනට ය.
“එදවස්හි විපත් පීඩා නිම වූ කෙණෙහි ම
“ ‘හිරු අඳුරු වනු ඇත,
සඳු එහි එළිය නො දෙනු ඇත;
තරු අහසින් කඩා වැටෙනු ඇත,
අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’
“එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතු ව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත. එවිට උන්වහන්සේ මහා හොරණෑ හඬක් සහිත ව, ස්වකීය දූතයින් පිටත් කර එවන සේක. ඔවුන් අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා පොළොවේ සතර දිගින් ම උන්වහන්සේගේ තෝරා ගත්තවුන් රැස් කරනු ඇත.