මතෙව් 23:29-36

මතෙව් 23:29-36 SCV

“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා දිවැසිවරුන්ගේ සොහොන් කොත් ගොඩ නගා, ධර්මිෂ්ඨයින්ගේ මිනීවළවල් සරසා, ‘අපේ පියවරුන්ගේ කාලයේ අප සිටියා නම්, දිවැසිවරුන්ගේ ලේ හැලුමට අප ඔවුන් හා සම්බන්ධ නො වන්නෙමු’ යි කියති. මෙසේ ඒ දිවැසිවරුන් මැරූ මිනී මරුවන්ගෙන් පැවත එන්නෝ නුඹලා ම බැව් එයින් සාක්ෂි දරති. නුඹලාගේ පියවරුන්ගේ පාප මිම්මේ අඩුව සම්පූර්ණ කරනු! “සර්පයිනි! පොළොං පැටවුනි! නිරයට හෙළනු ලැබීමේ දඬුවමින් නුඹලා ගැලවෙන්නේ කෙසේ ද? එබැවින් මෙන්න මම දිවැසිවරුන් ද නැණවතුන් ද ගුරුවරුන් ද නුඹලා වෙත එවමි. නුඹලා ඔවුන්ගෙන් ඇතමකු මරා දමනු ඇත; ඇතමකු කුරුසිපත් කරනු ඇත. සෙසු අයට නුඹලාගේ සිනගෝගවලදී තළා, නගරයෙන් නගරයට ඔවුන් ලුහුබඳිනු ඇත. මෙසේ, ධර්මිෂ්ඨ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත්, පූජාසනයටත්, අතරදී නුඹලා විසින් මරා දමන ලද බරාකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා, පොළෝ තලය මත මරා දමන ලද සියලු ධර්මිෂ්ඨයින්ගේ ලේවල වරද නුඹලා පිටට එනු ඇත. සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දෙයක් ම මේ පරම්පරාව පිටට ම පැමිණෙනු ඇත කියායි.